අලුත් දොස්තර නෝනා


උඹ දන්නවද සෝමේ
මගෙත් හදවත වැදුනා
පැයේ බෙල් එක වාගේ
ඇසිල්ලක් ගානේ

අලුත් දොස්තර නෝනා
කිඳුරියක් නේද බං මූදේ
ඊයෙ මෝචරිය දිහාවට ආවෙ
උඹ බලන්නද ? නෑ නේ

--------------------------------------------------

උඹට පිස්සුද සයිමො
මිනී ටික මුරකරන මාගේ
හදවත නැවතුනේ හුඟක් ඉස්සර
දියන් තව ශොට් එකක් භාගේ

උඹට කිව්වම මොකද
ගමෙන් මම කොළඹ රට ආවේ
ඉවසන්න බැරිම තැන්
එහෙදි වැදුනා දෑසේ

සුමනෙ නැන්දගෙ දූට
පෙන්නන්න කියා මේ ලෝකේ
ඉස්කෝල මගෙන් බැස
කුලී වැඩ හොයන් ගිය කාලේ

ආලයක් තිබුනෙ බං
කැලේ ගහ කොල වාගේ
ඇස් වලින් කතාකල මුත්
නිහඬ කවියකි දීගේ

දොස්තර කොලීජියෙ
ඈ ගියපු ඒ කාලේ
සුමනෙ නැන්දත් උඩින් ගියෙ බං
මගෙ සල්ලි ගත්තෙත් නෑනේ

ගමේ උන් කියද්දී කතාවක්
සුමනෙගෙ දූට හරිගිහින් කොළඹ පාරේ
අම්මපා බං අඬ අඬයි මං ඉතින්
ගමෙන් පිටමං ආවේ

-------------------------------------------------

හොඳටෝම ඇති බං
මට පේනවා උඹෙ කතාවම මූනේ
සර්ට් කොලර් එකෙ පිහිදපං ඔය කඳුලු
ලෙඩ්ඩු දැක්කොත් හරි නෑනේ

අලුත් දොස්‍තර නෝන ඇහුවා
උඹව පෙන්නල ඊයේ
සෝමදාසද අරයගේ නම
ගමද මහ කැකිරි යායේ

--------------------------------------------------

මචං කොහොමත් උඹට කියලා
යන්නමයි මම හිටියේ
ඊයෙ ඉල්ලල අස්වුනා මං
බස් එකෙන් යමි උදයේ

--------------------------------------------------

දන්නවා බං දැනුත් ඇති බව
ඇවිලෙනා තැන් පපුවේ
ඉතින් යහතින් ගිහින් නිවපන්
මාත් ඒකම හිතුවේ

--------------------------------------------------

කවමදාවත් රැයේ සැතපී
සොයා නැති මුත් සාමේ
බස් එකක හැප්පිලා නින්දෙලු
අපේ මෝචරි සෝමේ

රජය වියදම් දරා සිදුකල
මිනිය විතරක් තිබුන මළගේ
අලුත් දොස්තර නෝන රහසින්
අඬා තිබුනා එයයි පුදුමේ

- ඉලක්ෂ ජයවර්ධන -


Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...