මිහිමත ජීවය රැදි පස


එච් . . උදුලා ප්‍රසාදි
සොබාදහම් පාසල

                                  මීට වසර මිලියන ගණනකට ඉහතදී  ජීවීන්ගෙන් තොර ග්‍රහලෝකයක් ලෙස පැවති පෘථිවිය කාලයාගේ ඇවෑමෙන් එය අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය ඇති      ( දැනට සොයාගෙන ඇති පරිදි ) එකම ග්‍රහලෝකය බවට පත්විය. පෘථිවිය වර්තමානයේ පවතින අන්දමට ගොඩබිම හා ජලය ලෙස වෙන් වී අද වන විට වසර මිලියන 4600ක් කාලයක් ගතවී තිබේ.  මෙහිදී අප බලාපොරොත්තු වන්නේබ්ජලයභා ගොඩබිම ලෙස බෙදා වෙන්වුණු පෘථිවියේ ගොඩබිම් කොටස පිළිබඳ සටහනක් ඉදිරිපත් කිරීමයි.

                              සජීවී ග්‍රහලෝකයක් වන පෘථිවියට එකී සජීවී බව ආරෝපණය කරන්නට මූලික වන පසුබිම සකස් කරන්නේ පසයි. මුල්ම ඒක සෛලික ජීවියා ජලයේ බිහි වුවද ඔහු ක්‍රමයෙන් ගොඩබිමට විත් දෙපයින් සිට ගන්නා අන්දමට ගොඩනගන්නට ආධාරකය වන්නේ පසයි. අනුව මිහිමත ජීවයේ බර දරාසිටින්නේ පසයි.

                               පෘථිවි පෘෂ්ඨයේ ගොඩබිම් ප්‍රදේශයේ මතුපිටින් වැඩි ප්‍රමාණයක් සෙන්ටිමීටර තුනක් ( 3cm ) සිට මීටර් තුනක් ( 3m )  දක්වා වෙනස්වන ඝනකමකින් යුක්ත පස් තට්ටුවකින් වැසී පවතී. පෘථිවිය මත වැඩෙන ශාක , සතුන්ගේ පැවැත්ම මෙන්ම ජීවයේ අංශු මාත්‍රයක් නියෝජනය කරන මිනිසාගේ සමාජයීය ආර්ථික , ජෛව විද්‍යාත්මක කටයුතු බොහෝමයක් මෙකී තුනී පස් තට්ටුව ආශ්‍රය කරගෙන සිදුවේ.

                               පාශාණ විවිධ ක්‍රම වලින් ජීරණය වෙමින් ලැබෙන ජීරණාවශේෂ සහ ඓන්ද්‍රීය ද්‍රව්‍ය මත පාංශු ජනක ක්‍රියාවලි කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක වීමේ ප්‍රථිඵලය ලෙස පස නිර්මාණය වේ.

                               ඛනිජ හෙවත් අනේන්ද්‍රිය ද්‍රව්‍ය , ඓන්ද්‍රීය ද්‍රව්‍ය ,ජලය හා වාතය යන ප්‍රධාන සංඝටක හතරෙන් සැදුම්ලත් පස නිර්මාණය වන්නට වසර ගණනාවක් ගත වේ. අනුව ගැඹුරු හෝ නොගැඹුරු ඕනෑම වර්ගයක පසක් නිර්මාණය වන්නට සැලකිය යුතු කාලයක් ගත වේ. එයට හේතු වන්නේ පාංශු නිර්මාණ ක්‍රියාවලිය ඉතා සෙමින් සිදුවන්නක් වීමයි. දැනට පවත්නා ඇස්තමේන්තු අනුව මිලි මීටර් 10ක තරම් කුඩා පස් කොටසක්  සාමාන්‍ය දේශගුණික පාරිසරික තත්ත්ව යටතේ නිර්මාණය වන්නට වසර 400ක් පමණ ද , ආන්තික තත්ත්ව යටතේ මිලි ලීටර එකක් වර්ධනය වන්නට වසර 1000ක් තරම් ගත වේ. කෘෂිකාර්මාන්තයට යෝග්‍ය පාංශු පැතිකඩක් නිර්මාණය වන්නට වසර 3000 – 12000ක් තරම් දිගු කලක් ගත වන බව විස්වාස කරයි.

                                   හොදින් පරිනත වූ පසක් නිර්මාණය වන්නට වසර දහස් ගණනක් ගතවන බව මේ අනුව පසක් වේ. එබැවින් පසට විනාශයක් සිදුවීම කෙතරම් බරපතල වරදක් යන්න ආශ්‍රයෙන් අපට විද්‍යාමාන වේ. වසර කිහිපයක් තුළ දී අරපිරිමැස්මෙන් තොරව පස උපයෝජනය කිරීමෙන් සිදුවන හානියට පිලියම් යොදනු පිණිසත් , නැවත එය ප්‍රකෘති තත්ත්වයට පත්කරනු සදහාත් වසර සිය ගණනක් බලා සිටින්නට සිදුවනු ඇත.

                                 දැනට ලෝකයේ කෘෂිකාර්මාන්තය සදහා යොදාගෙන ඇති මුළු බිම් ප්‍රමාණයෙන් හෙක්ටයාර මිලියන 6 – 7 අතර ප්‍රමාණයක් ඛාදනයට ගොදුරු වීමෙන් සෑම වසරකම නිසරු බිම් කොටස් බවට පත් වෙමින් තිබේ. ලංකාවේ ද දුම්කොළ , මල්බෙරි හා අර්තාපල් වගා බිම් ආශ්‍රිතව ද මෙකී තත්ත්වය සුලබය.

                                ශ්‍රී ලංකාව ද පාංශු විවිධත්වය අතින් ඉතා  වටිනා තැනක් උරුම කරගත් රටකි. එහි ව්‍යාප්තිය දෙස බලන විට මහාචාර්ය පානබොක්කේ සහ මුවමර් යන අය විසින් ලංකාවේ පාංශු ඝන 14ක් ඇති බව හදුන්වා දී ඇත. අනුව වියළි කලාපයට පමණක් සීමා වූ පස, තෙත් කලාපයට පමණක් සීමා වූ පස හා එකී කලාප දෙකටම පොදු වූ පසක් ලෙස වර්ග කර ඇත. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ දක්නට ලැබෙන ප්‍රධානම පාංශු වර්ගය වන්නේ රතු කහ පොඩ්සොලික් පසයි. හ්‍යුමස් බහුල සරුපසක් වන මෙය කදුකර කලාපයේ සිදුවන අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති , කෘෂිකාර්මාන්තය , වනාන්තර විනාශය නිසා නිසරු වෙමින් පවතී. එබැවින් ප්‍රාග් කේම්බ්‍රීය අවධියේ පටන් පාංශු නිර්මාණ ක්‍රියාවලියට ලක් වූ පස මෙසේ ක්ෂණිකයකින් විනාශ වීම කෙතරම් ශෝකජනක ද...?

                                කිසියම් පසක් හොදින් ආරක්ෂා වන්නේ එකී පස ආවරණය වන සේ වෘක්ෂලතා වැස්මක් පවතීනම් ය. පාංශු ඛාදනයට හෝ නිසරු වීමට බලපාන්නේ පස ආවරණය වී පවතින එම වන වැස්ම ඉවත්වීම හෝ ඉවත් කිරීම නිසාය. අනුව පස ආරක්ෂා කල හැකි හොදම ක්‍රමය වන්නේ නැවත වන වගාවයි. එය පාංශු සංරක්ෂණයට දිගු කාලීන ක්‍රියාමාර්ගයකි.

                                 දියුණු විධිමත් වගාක්‍රම අනුගමනය කිරීමෙන් ද පසෙහි සාරවත් බව රැකගත හැකිය. කෘෂිකාර්මාන්තයේ දී අනුගමනය කරනු ලබන වගා බිම් මාරුව හා භෝග මාරුව මෙයට කදිම නිදර්ශනයයි. විශේෂයෙන්ම අංශක 12 වැඩි බෑවුම් ප්‍රදේශයන්හි භූමිය සැකසීමේ දී සමෝච්ජ රේඛා අනුගමනය කිරීමෙන් පාංශු ඛාදනය අවම කරගත හැකිය.පාංශු ඛාදනය අවම කිරීමත් එය කළමනාකරණය කිරීමටත් ගත හැකි තවත් උපායමාර්ගයක් ලෙස සමෝච්ජ රේඛා දිගේ සුදුසු ශාක පේළි ක්‍රමයට වගා කිරීම දක්වන්නට හැකිය. එකී ශාකයන්ගේ උස මට්ටම , අස්වනු ලබා ගන්නා කාලය හා පෝෂ්‍ය පදාර්ථ භාවිතය ආදී කරුණු එකිනෙකට වෙනස් වීම යෝග්‍ය වේ.

                                පසෙහි සාරවත් බව වර්ධනය කිරීමට අප පුරුදුව සිටින්නේ රසායනික පොහොර භාවිතා කිරීමටයි. එහෙත් සංවර්ධනය වෙමින් පවත්නා ශ්‍රී ලංකාව වැනි රටක පොහොර සදහා යන වියදම් දැරීමට අපහසු ය. මේ සදහා දැනට රජය අනුගමනය කරන්නේ ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමයි. එමෙන්ම කාබනික කෘෂිකාර්මාන්තයට යොමුවීමෙන් මෙම ගැටලුව විසදෙයි. රසායනික පොහොර භාවිතයෙන් අප ඉවත් විය යුත්තේ එය වියදම්කාරී නිසාම නොවේ. රසායනික පොහොර භාවිතයෙන් විවිධ පාරිසරික හා මානුෂ ගැටළු ඇති වේ. මේ නිසා කෘෂි ව්‍යාප්ත සේවා මගින් කාබනික පොහොර භාවිතය ගොවීන් අතර ප්‍රචලිත කිරීම යුගයේ අවශ්‍යතාවකි. එය එක් අතකින් පාංශු ව්‍යුහය ශක්තිමත් කරන අතර එමගින් පාරිසරික හා මානුෂ සෞඛ්‍ය රැකගැනීමටත් විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමක් වේ.










Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...