ගෝණදෙණි කදු රක්ෂිතයේ ජෛවවිවිධත්ව විනාශයට වග කිවයුත්තේ කවුද...?
පූජ්‍ය වෑකදවල රාහුල හිමි.
ජී එන්. නුවන් මදුශංඛ
ජීවිතය එන්න එන්නම හුදෙකලා කොට තබන යුගයක අප ජීවත් වන්නෙමු. තාක්ෂණික උපකරණ , සංස්කෘතිය එය වඩාත් අප අනෙකාගෙන් වෙන්කොට තබයි. ජීවත් වන බිම, පරිසරය , අනොන්‍යව ජීවිතය හා බැදී ඇති අයුරු බොහෝ දෙනෙකුට දැන් අමතකව ඇත.
තමා පමණක් ගොඩයෑමේ පුද්ගලික ඉලක්ක , රැකියාව , තම පවුල ආදී තමා වටා පමණක් කේන්ද්‍රීය වූ සාර්ථකත්වය සොයමින් ඉතා අවිවේකී හා අධිවේගී නිදහසක් නොමැති ගමනක දේවල් අත්පත් කරගැනීමට පොර බදිමින් සිටිමු. මෙවන් පසුබිමක නිදහස් මනසකින් පරිසරය දෙස බලන්නත් එම පරිසරය සමග ජීවත් වීමට පවා අමතක වී ඇත. එසේ නොමැති නම් හිතා මතා අමතක කොට ඇත.
වැව හා බැදුණු ජීවිතය වනරොද ගහකොළ මෙන්ම කදු පන්තිය යන පරිසර සාධක ජීවිතයේ කොටස් ය. එහෙත් කාර්මීකරණය , නාගරීකරණය , විවෘත ආර්ථිකය ඇතුළු නූතනත්වය තුළ ජීවිතයට අලුත් හීනයක් පෙන්වා ඇත. ජීවිතය පරිසරයෙන් උදුරා වෙනත් මාවතකට අප යොමුකොට ඇත. අප ගමන් ගන්නේ නිවරදි මාවතකද...? මහන්සිය , මානසික පීඩාව, කලකිරීම, අතෘප්තිය , අවිවේකය , අප වෙලාගෙන ඇත. එහෙත් අප සතුට සොයමු. ආදරය සොයමු. වැරදි පාරක යමින් සතුට , ආදරය නිවරදි තැනකින් අපට අත්පත් කරගත හැකිද....? මෙවන් වූ දහසක් සිතුවිලි ඉපදෙන මැරෙණ සිතත් රැගෙන ගෝණදෙණිය කදු පාමුල මිටියාවතේ ජීවිතය සොයා ගියෙමු.
ගෝණදෙණිය කන්ද කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි හුදෙකලා කන්දක්. වීරකැටිය හා අගුණුකොලපැලැස්ස ප්‍රාදේශීය වසම් දෙකේ පිහිටා ඇත. මිනිස්සු මහ පොලොව බෙදා ඉරි ඇද ගත්තට කන්දට ගානක්වත් නැහැ . භූමිය තුළ ඉතා රමණීය අයුරින් උස්ව නැගී සිටිනවා. මුහුදු මට්ටමේ සිට සලකා බැලුවහොත් මිටර් 700 පමණ උසකින් යුක්තය .
ගෝණදෙණිය කන්ද හා බැදුණු ජන ජීවිතය සොයා සොබාදහම් පාසලේ කණ්ඩායම මිටියාවතේ ගම්මානයක් වන වෑකදවල ගමේ දෙබොක්කාවේ ලොකු මහතා ( ගමේ හැමෝම හදුන්වන නම ) සොයා ගියෙමු . අප යන විට ලොකු මහතා පොළට ගිහින් තිබුණි . ඔහු එනතුරු අපි ඔහුගේ හාමිනේ සමග දොඩමළු වුණෙමු .
මේ නිවස කොච්චර පැරණි ද...?
අපේ මහගෙවල් මුරුතවෙල ජලාශය හදනකොට යට වුණා. මේ පලාතේ තමයි අපට ඉඩන් ලබා දුන්නෙ. අපි ආපු මුල් කාලෙම තමා මේ නිවස හැදුවේ. ඒ කියන්නෙ 1969න් පස්සේ. දැන් මේ ගමේ කටුමැටි ගහපු එක ගෙයක්වත් නෑ . අපිට මේ ගෙය කඩන්න ලෝභයි. අලුත් ගෙයක් හදලා තියෙන්නෙ ලොකු වියදමක් කරලා. ඒත් ඒකෙ ඉන්න බෑ හරිම රස්නෙයි. මේ ගෙදර හරිම සිසිලසක් තියෙන්නෙ. ඇය දහවලට මෑ කරල් ව්‍යංජනයක් සෑදීම සදහා සූදානම් වෙමින් අපේ ප්‍රශ්න වලට උත්තර බදින්න වූවාය.
අපිද ඇගේ කතාවට උල්පන්දම් දුනිමු.
දැන් ගොඩක් අය ලොකු වියදමක් දරලා ගෙවල් හදනවා.ඒත් හදපු ගෙවල් ඇතුලෙ ජීවත් වෙන්න බැහැ රස්නෙයි එක්කෝ ලිස්සලා ඇද වැටෙනවා.
ඒක නම් ඇත්ත.අද කාලේ මිනිස්සු ගෙවල් හදන්නෙ ජීවත් වෙන්න නොවෙයි. රටට ලෝකෙට පේන්න .
පව් අර හෙල්ලල ලොකු හාමුදුරුවෝ නාන කාමරේ වැටිලා අපවත් වෙලාලු. අනේ දුක්කේ සංසාරේ...... ඇය පැවසුවේ සමාජය නිහඩව කියවාගත් අත්දැකීම් සහිත බුද්ධි ප්‍රභාවකින් යැයි අපට වැටහිණි.
පාපැදියක හඩ කණ වැකුණෙන් අප ඒ දෙස බැලීමු. ඒ දෙබොක්කාවේ ලොකු මහත්මයා ය. ඔහු නමින් ඩී. එච් . අමරකෝන් ය. එහෙත් කවුරුත් ඔහු හැදින්වූයේ දෙබොක්කාවේ ලොකු මහත්තයා නමිනි. ඔහු පාගමනින් යාමටත් , පා පැදියෙන් ගමන් යාමටත් දැඩි ප්‍රිය බවක් දැක්වූ අයෙකි. අප දුටු විගස මුව පිරුණු සිනහවකින් අප සාදරයෙන් පිළිගත් ඔහු තේ සංග්‍රහයෙන් අනතුරුව බුලත් විටක් කා අපි අපේ කතාබහට දොඩමළු වුණෙමු.
අපේ කතාබහ ඔහුගේ ගෙවතු මිදුලේ නාබර තල් ගසක් පාමුල විය. අවට නිරීක්ෂණය කරන අප දුටුවේ පරිසරයට ඉඩක් දී ඇති අයුරුත් විවිධ ඔෂධීය ශාක තැන තැන ගෙවත්ත සමීපයේ වගා කොට ඇති බවයි.
මේ ගහකොළ හිටෙව්වෙ කවුද .....?
අපි දෙන්නා තමා..
යැයි ඔහු සිනා මුසු මුහුණින් පැවසූවේ තම බිරිඳ දෙස ආදරණීය බැල්මක් හෙලමිනි. අපි වටින පැලයක් හමු වුනාම ගෙනල්ලා වත්ත පහල යට කරනවා එහෙම හැදිච්චි ඒවා තමයි මේ තියෙන්නෙ.
අපිද අපගේ අදහස් නොසගවා පැවසුවෙමු.
අද කාලේ නම් වැඩසටහන් උත්සව නැතිව මිනිස්සු පැල සිටුවනවා ගොඩක් අඩුයි. එහෙම නැත්නම් රැල්ලක් නිර්මාණය කරන්න අවශ්‍යයි. රැල්ලක් නැත්නම් පැලයක් සිටුවන්නෙ නෑ.
ලොකු මහත්තයා උපහාසාත්මක සිනාවකින් මුව සරසා සිටී. ළගදී රූපවාහිනියෙ පැල හිටෙව්වා නේද......? මම දැක්ක පැල හිටවලා ෆොටෝ ගහලා දාන උදවිය පැල හිටවන එක ජීවන පුරුද්දක් කර ගත්තනම් ඔච්චර මැරෙන්න අවශ්‍ය නෑ . ඒ ඔහුගේ අදහසයි. එය අපට ද විසල් පාඩමකි.
සීයාගේ මතකය කොහොමද ගෝණදෙණිය කන්ද පිළිබඳව ....?
මම ඉපදුනේ 1928 දෙබොක්කාවේ දී. ඉතින් මට පුංචි කාලේ ඉදලම මතකයක් තියෙනවා මේ කන්ද පිළිබඳව . මේ කන්දට ඉස්සර මිනිස්සු ඇගිල්ල දික් කරලා කතා කලේ නෑ . ඒ තරම් මේ කන්දට මිනිස්සු ගරු කලා. හරිම අනුහස් තියෙන ප්‍රදේශයක් විදියටයි මිනිස්සු විශ්වාස කලේ.අද නම් එහෙම ගරුත්වයක් නෑ .මිනිස්සු කන්දට ගිනි තියනවා. ඉස්සර මේ කන්ද කොළ පැහැයෙන් පිරිච්චි එකක්.කලුවර, වීර, පලු, කෝන්, ගල්සියබලා, කරපිංචා , බිං කොහොඹ, ඇටබ , උල්කෙන්ද, උරුකුණ්ඩ, ගිණිකුලු, ගල්කුලු වගේ විවිධ වටිනා ශාක තිබිච්ච කන්දක්. මේ ගේ හදන්න ලී දඩු කපාගෙන ආවෙත් මේ කන්දෙන්. අදටත් මේ ගෙට යොදාගත් ලී දඩු දිරාපත් වී නෑ . සත්තු හානි කරලා නෑ .
ඒ කියන්නෙ සීයේ , සත්තු හානි කරන්නෙ නැති ගස් තියෙනවද.....?
ඔව්.. මේ කන්දෙ තිබ්බා උරූ කුන්ඩ කියලා ගස් ජාතියක්. හරි කෙලින් ගස් උස යන්නෙ. එක යායට හැදෙනවා. කැලේට ගියාම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ගස් තෝරාගෙන ගෙවල් හදන්න මිනිස්සු කපාගෙන ආවා. සත්තු ඉදුල් කරනවට කිසිම බෙහෙතක් ගෑවේ නෑ .
එතකොට මිනිස්සු ද මේ කැලේ විනාශ කරන්න පටන් ගත්තේ...?
මිනිස්සු මේ කැලේ සමග ජීවත් වුණා . ගෙයක් දොරක් හදාගන්න වුවමනා වුනාම ලී දඩු කපා ගත්තා තමයි ,ඒත් විශාල හානියක් කලේ නෑ . මේ ගම් වල බොහෝ දෙනෙක් දරට ගියේ මේ කැලේට. දරට ගිහින් පළතුරු වර්ග, එළවළු වර්ග, කරවිල, හිබටු, ගල් සියඹලා, ටුබ වැනි දේවල් නෙලාගෙන එනවා. අදටත් කරපිංචා කඩලා පිරිසක් ජීවත් වෙනවා. ජීවත් වීම සදහා මිනිස්සු මේ කැලේ භාවිතා කලා. අපේ ජීවිතේ කොටසක් කැලේ කියන්නෙ.
එතකොට සීයේ මේ කැලේ විනාශ කලේ කවුද....?
මේ කන්ද සමග කැලෑව විනාශ කලේ 1956 දී. එවකට රට පාලනය කල රජය විසින් . රජයෙන් මිනිස්සුන්ට අක්කර 05 බැගින් බෙදා දීලා හේන් වගා කරන්නත් ඒ සමගම තේක්ක , කරපැන්ටන් වගා කරන්න දුන්නා. පැළ වගා කරනවට මිනිස්සුන්ට ගෙවීම් කලා. එහෙමයි මේ කන්දට කණකොකා හඩන්න පටන් ගත්තේ . මිනිස්සු මහ කැලේ කපලා හේන් හැදුවා. හේනේ හදුන්වා දුන් ශාක වගා කලා. අද එදා තිබ්බ ගහකොළ නෑ . සමහර තැන් මුඩුබිම් . ඉලුක් , මාන විශාල වශයෙන් තියෙන්නෙ.
රටේ දැව අවශ්‍යතාවයකට කියලයි මේ හදුන්වා දුන් ශාක වගා කලේ. ඒත් මේ වනාන්තරයේ තිබ්බ උරු කුණ්ඩ වගේ ශාක දැව අවශ්‍යතාවයකට ඉතාමත් සුදුසුයි. මෙම ශාකයට කිසිම සතෙක් හානි කරන්නෙ නෑ . අපට තිබ්බෙ එවැනි ශාක හදුනාගෙන වගාකරන එක.ඒක මේ බිමටත් හොදයි. දැන් හදුන්වා දුන් ශාක අපේ බිම, පරිසරය විනාශ කරනවා. පැතිරීමත් ආක්‍රමණිකයි. ගෝණදෙණි කන්ද ඒ විනාශයට ගොදුරු වෙලා අවසානයි. කන්දේ තිබ්බ කදුල කියලා දියඇල්ල මේවන විට සම්පූර්ණයෙන්ම හිදිලා ගිහින්.ලොකු මහතා දැඩි ස්වරයකින් කතා කරගෙන යයි. එහි යම් ආවේගයක් මුසු වූ ස්වභාවයකි. අපි ද ඔහුගේ කතාවට එක් වූයෙමු.
සීයා කියන දේ හරි කියලා අපටත් හිතෙනවා. රටේ දැව අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කියලා හදුන්වා දුන් ශාක නිසා ස්වාභාවික පරිසරය විනාශ කරගෙන දිය කදුරු හිදිලා.එපමණක් නොවෙයි අපි දැව පිටරටින් ආනයනය කරනවා. දැනට තියෙන දැව ආරක්ෂා කර ගැනීම සදහා දැව තෙල් භාවිතා කරන්න වෙලා.අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීම සදහා එදා නිවරදි තීරණයක් නොවෙයි අරගෙන තියෙන්නෙ.ඒක අපට පැහැදිලියි.
අප කතාව නතර කරන විට ඔහු කතාව පටන් ගනී.
මට මේ කන්ද ගැන හුගක්
දේවල් කතා කරන්න තියෙනවා . ඉස්සර මේ කන්දෙ බටගොයි හාර පන්සීය රංචු හිටියේ. සුද්දො බටගොයි
දඩයම්එ එනවා. හරියට සත්තු හිටියේ . කොටිත් හිටියා. හැබැයි වලස්සු නම් අපි දැක්කෙ නෑ . ඒත් අද කැලේ කොටි
හරක් ගාල් වලට පැනලා පැටව් පවා අරන් යනවා. මුවෝ, ගෝන්නු රංචු පිටින්
හිටියේ . ඒත් දැන් සත්තු හරිම අඩුයි. කැලේ සත්තු දැන් වැඩිපුර ඉන්නෙ
ගම්මාන වලට වැදිලා. දඩුලේනා , රිලවා, මොණරා වගේ සත්තු ඒ දවස් වල හිටියේ කැලේ. දැන් උන්ටමේ කන්දෙ
කන්න දෙයක් නෑ .දැනටත් සමහර දවසට කන්දෙ ඉන්න මුවෝ ගම වදිනවා. ආපහු උන්ට කැලේට
යන්න ලැබෙන්නෙ නෑ .එක්කො බල්ලො වට කර ගන්නව.නැත්නම් මිනිස්සු දඩයම් කරනවා.සත්තු අනාත වෙලා
ඉන්නෙ.අපි ඒ කාලේ හේන් කරනවා.ඒත් සතුන්ගේ හානිය අඩුයි.ඒත් දැන් සතුන් හා මිනිසුන් අතර ගැටුම උග්‍ර වෙලා. ඒ කාලෙ අලි රංචු
පිටින් එනවා.උන් ලගින තැන්වල උන් යන්න ගියාම අපි ඒ අලි වලවල් වලට වෙලා ඉන්නවා . හේනක් කරන්න
කැලේ කැපුවත් සත්තුන්ට යන්න කියලා කෑ ගහලා අපි කියනවා. අපි මේ බිමේ සාමකාමීව
ජීවිතය බෙදා ගත්තා .
තව බොහෝ දේ අප සමග
බෙදා ගැනීමට දෙබොක්කාවේ ලොකු මහතාට අවශ්‍යතාවය තිබුන ද අපට කාලය ඉතිරිවී තිබුණේ සීමිත
ප්‍රමාණයකි. ඒ නිසා අපි අපේ අවසන් ප්‍රශ්නය යොමු කලෙමු.
අද ඇතිවෙලා තියෙන
තත්වයට වගකියන්න ඕන කවුද.....?
ඒකට අපි හැමෝම
වගකිවයුතුයි. මට මතකයි මුරුතවෙල ජලාශය හදද්දී ඒකට ගෙවල් යට වුණු උදවියට ඉඩම් සහ ගෙවල් හදලා දෙනවා කීවා. වන්දි දෙනවා කීවා. ඒත් මිනිස්සුතම ගම්බිම්
අතැරලා යන්න කැමති වුනේ නෑ . පස්සේ ගෙවල් හදලා දෙන්න පොරොන්දු වුනා . ඒ අනුව 1969 ජනවාරි මාසයේ පවුල්
260ක් පමණ නැවත පදිංචි කිරීමට මේ ප්‍රදේශයෙන් ගොඩින් අක්කර භාගයයි, මඩින් අක්කර දෙකකුයි
දුන්නා . ඒත් ගෙවල් හදලා දුන්නෙ නෑ . ඒක බොරු පොරොන්දුවක් වුණා. එදා ඉදලා මිනිස්සු රැවටෙනවා.දේශපාලඣයන් අපි රාත්‍රියේ වැටුණු වලේම දවලුත් අතාරිනවා.මිනිස්සු හරියටම
රැවටෙනවා. ඒකයි අපට වැරදිලා තියෙන්නෙ. මම හිතන විදියට.
ඔහුගේ කතාවෙන් අනතුරුව
අප ඔහුට සමු දී පැමිණියෙමු. එහෙත් ඔහු අප හමුවේ තැබූ අදහස්
නැවත නැවත දෝන්කාර දී ඇසෙන්නාක් බදුය. එය අපේ ජීවිතය පෙන්වන කැඩපතක් බදුය.ඉපැරැණි ගැමි ජීවිතය
සොබාදහමේ කොටසකි. එහෙත් වර්තමාන ජීවිතය සොබාදහමට පිටුපා යන ගමනකි. එහෙත් දැන් පැරණි
තැනට යා නොහැක. එනමුත් සොබාදහම සමග ජීවත් වන නව
ජීවන විලාසයකට අප ජීවිත හුරු කල යුතුව ඇත .
“ සොබාදහම සමග ජීවත් වෙමු යන්න අපගේ යෝජනාවයි.”
Comments
Post a Comment