ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

ආදළුවේ ධම්මසිරි හිමි.

ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයා
Sri Lanka Spot- winged Thrush   ( Zoothera spiloptera )









Classification
Class – Aves
Order – Passeriformes
Family – Turdidae
Genus – Zoothera





පුල්ලි අවිච්චියා ලෙස හඩුන්වන මෙම පක්ෂියා ඇතැම් ප්‍රදේශවල දී ගොම අවිච්චියා ලෙසද හදුන්වයි.

බාහිර ලක්ෂණ

    මෙම පක්ෂියා ශරීර ප්‍රමාණයෙන් කොණ්ඩ කුරුල්ලා හා මයිනා අතර වේ. ශරීරය දිගින් සෙන්ටිමීටර 21ක් පමණ වේ. බාහිරව මොවුන් පිරිමි හා ගැහැණු සතුන් ලෙස වෙන් කර හදුනා ගැනීම අපහසු අතර හිස මුදුන, පියාපත් , ශරීරයේ පෘෂ්ඨීය ප්‍රදේශය සහ පෙදය තද දුඹුරු පැහැතිය. මුහුණ සහ සිරුරේ උදරීය පැත්ත සුදු පැහැය මිශ්‍ර පඩු වර්ණය ගනී. පියාපත් වල මැදි ආවරණ පිහාටුවල හා විශාල ආවරණ පිහාටු අග සුදු පැහැති ලප ඇත. පියාපත් හකුලාගෙන සිටින විට මෙම සුදු ලප එක්වීමෙන් සිත්ගන්නා සුළු සුදු පාර දාර 2ක් ඇති කරයි.මේ මගින් මෙම පක්ෂීන් පහසුවෙන් අනෙක් පක්ෂීන්ගෙන් වෙන්කර හදුනා ගත හැකිය. පුල්ලි වල් අවිච්චියාගේ හොටය කළු පැහැයට හුරු දුඹුරු පැහැ වන අතර පාද නිල් පැහැය මිශ්‍ර වූ  දුඹුරු වර්ණයෙන් යුක්ත වේ.


ව්‍යාප්තිය

මීටර් 1350 ක් දක්වා මධ්‍යම කදුකරයේ ද, නිරිතදිග ප්‍රදේශයේ වූ මිනිස් ඔආ පහස නොලද වනාන්තර වලද මෙම පක්ෂීන් ජීවත් වේ. මීට අමතරව වියළි කලාපයේ වනාන්තර වල දී ඊසාන දෙසට වන්නට මහවැලි ගංගාව දෙපස වූ වනාන්තර වලදී මොවුන් දැකිය හැකිය. නිශ්චිත ස්ථාන ගතහොත් සිංහරාජ වනාන්තරය , ශ්‍රී පාද අඩවිය, තංගමලේ රක්ෂිත වනය, කළුගල රක්ෂිත වනය සහ දොඹගස්කන්ද රක්ෂිත වනය තුළ මෙම පක්ෂීන් වාර්තා වේ. බිම් ස්තරයේ මෙම පක්ෂීන් දැකිය හැකිය.

ජීවන රටාව

තරමක් කුලෑටි පක්ෂියෙකි. තම අවට පරිසරය පිළිබඳව බොහෝ අවධානයෙන් සිටී. මෙම පක්ෂීන්ට ඉතා මිහිරි හඩින් නාද කිරීමට හැකියාවක් ඇත. උදෑසන හා සවස් කාලයේදී නාද කිරීම ඔවුන්ගේ සිරිතයි. හුදෙකලාව කාලයබ්ගත කිරීමට වඩාත් කැමති අතර වනය තුළ බිම් ස්ථරයේ ආහාර සොයමින් ඇවිදියි.

ආහාර

මෙම පක්ෂියා සර්ව භක්ෂකයෙකි. වනය තුළ බිම් ස්තරයේ හමුවන කෘමීන්,පණුවන් ආදී සතුන් මෙන්ම පදුරු වල සෑදෙන කුඩා ගෙඩි වර්ග ද අහුලාගෙන කෑමට ගනී.

ප්‍රජනනය

වසරකට වාර දෙකකදී බිත්තර දමන මොවුන් මාර්තු සිට  අප්‍රේල් දක්වා හා අගෝස්තු සිට නොවැම්බර් දක්වා එය සිදු කරයි. සිනිඳු කෙදි, මුල්, කෝටු, වියළි කොළ ආදිය භාවිතා කරමින් සාදනු ලබන කැදැල්ල කෝප්පාකාර හැඩැති වේ. එය කරදමුංගු හෝ පර්ණාංග ශාක අතර රදවනු ලැබේ.

කිරිල්ලිය වරකට බිත්තර 2ක් දමන අතර ඒවා ළා කොළ පැහැතිය. ඒවා මත රතු පැහැයට හුරු දුඹුරු පාට තිත් වැටී ඇත. බිත්තරයක විශාලත්වය මිලි මීටර් 26.8 * 19.7ක් පමණ වේ.


වර්තමාන තත්ත්වය

සුලබ වශයෙන් හමුවන පක්ෂියෙක් වුවද සංඛ්‍යාත්මක වශයෙන් ගතහොත් ගහන ඝනත්වය අඩු වී යෑමේ තරමක අවදානම් තත්ත්වයට මුහුණ පා සිටින බව සදහන් කළ යුතුය.









Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...