ශ්‍රී ලංකාවේ සමනලුන්


ගයනි ගරුසිංහ




Lepidoptera යන ග්‍රීක වදනෙහි තේරුම කොරල පියාපත් යන්න වන අතර මෙම නම සමනලයින්ගේ හා සලබයින්ගේ වඩාත් ප්‍රකට ලක්ෂණය වන වර්ණවත් පියාපත් හා බැදී ඇත.  සමනල පියාපත් පාරදෘශ්‍ය පටලමය ඒවා ලෙස සකස් වී තිබේ. මේවාට වර්ණය ලැබෙන්නේ වසා පැතිරුන කුඩා කොරපොතු ආකාර ව්‍යුහ මගිනි. මෙම කොරල සමනලයින්ගේ පියාපත් වල පමණක් නොව සිරුර පුරා දැකිය හැකිය. අප සමනලයකු ඇල්ලූ විට කුඩු ආකාරයට අතේ තැවරෙන්නේ මෙම ක්ෂුද්‍ර කොරලයි.

සමනලුන් හා සලබයින් පූර්ණ රූපාන්තරණය පෙන්වන කෘමි ගෝත්‍රයකි. ඔවුන්ගේ ජීවන චක්‍රය බිත්තරය, කීටයා , පිළවා හා සුහුඹුලා යන එකිනෙකට වෙනස් අදියර 4කින් සමන්විත වී ඇත. විවිධ හැඩයෙන් හා වර්ණයන්ගෙන් යුක්ත සමනල බිත්තර වලින් එළියට එන කීටයා දළඹුවන් ලෙස හදුන්වන අතර ශාක කොටස් ආහාරයට ගනී. පිළවා අවස්ථාවේදී කෝෂයක් තුළ කල් ගත කරන මොවුන් අවසානයේදී කෝෂය බිදගෙන සමනලයා බිහිවේ.

කීට අවස්ථාවේදී ශාක කොටස් ආහාරයට ගැනීමට සකස් වී තිබූ හනු වෙනුවට මල් පැණි උරා බීමට ශුණ්ඩාව නම් මුඛ කොටසක් නිර්මාණය වේ.සමනලුන් හා සලබයන් ලොව පුරාම වාසය කරන අතර  සමනලුන් දිවා කාලයේදී හා සලබයන් රාත්‍රී කාලයේදීත් ක්‍රියාශීලී වේ. සලබයන් හා සමනලුන් අතරින් සමනලුන් ඉතා අලංකාර වන අතර සලබයින්ගේ සිරුර සමනලුන්ට වඩා කෙටි මහත් බවක් පෙන්නුම් කරයි. සලබයින් හා සමනලයින් වෙන්කර හදුනා ගත හැකි වන්නේ ඔවුන්ගේ ස්පර්ෂක වල ස්වභාවය අනුවයි. සමනලුන්ගේ ස්පර්ෂක සෑම විටම කුඩා ගැටිත්තක් වැනි ව්‍යුහයකින් යුක්ත වන අතර සලබයින්ගේ එසේ දක්නට නොලැබෙන අතර සලබ ස්පර්ෂක පිහාටු ආකාර හෝ තුඩකින් කෙළවර වන ආකාරයේ ඒවා වේ.

දුටු පමණින් අපගේ නෙත් පැහැර ගන්නා මොවුන්ගෙන් පරිසරයට එක්වන අලංකාරය අතිමහත්ය. කෙසේ නමුත් මිනිසුන්ගේ විවිධ ක්‍රියා හේතුවෙන් සමනල ගහණය ක්ෂය වෙමින් පවතී. මිනිසුන් විසින් පරිසර පද්ධතීන් විනාශ කිරීම හා විවිධ පලිබෝධනාශක රසායන ද්‍රව්‍ය භාවිතය නිසාවෙන් සමනලුන්ගේ ගහනය ක්ෂය වී ඇත.

 සමනලයාගේ ජීවන චක්‍රය


දළඹුවකු අගේ ගෑවීමෙන් ඇති වුණු වේදනාකාරී අත්දැකීමට අප සෑම දෙනාම මුහුණ දී ඇත.සමනළ හා සලබ විශේෂ ගණනක කීට මෙවැනි රසායනික අවිවලින් සන්නද්ධ වී සිටිති..Lepidoptera ගෝත්‍රයේ කීටයන් සතු මෙම ආරක්ශක විධි විධාන අතිශය චමත්කාරජනක විවිධත්වයක් පෙන්නුම් කරනවා.

            බොහෝ විට විශ සහිත කේශර  සලබ කීටයන් සතුව වන අතර  විෂ පිහිටන්නේ සිරුර ඇතුළතයි. මෙම විශේෂ රසායන සමහර කීටයින්ට ලැබෙන අයුරුත් පුදුම සහගත වන  අතර බොහෝ සමනල විශේෂවල මේ සොරා ගත් විෂ රසායන රූපාන්තරණයෙන් සුහුඹුල් සමනලයකු වූ පසුත් සිරුරේ ගබඩා වී පවතින්නේ වැඩිහිටි සමනලයාටත් සිය සතුරන්ගෙන් ආරක්ශාවක් සපයයි. මෙවැනි විෂ සහිත කීටයින් බොහෝ විට රතු,කහ,කළු වැනි වර්ණයෙන් යුක්ත වන අතර මෙම පැහැදිලි තද  වර්ණ සතුරන්ට අනතුරු හගවයි.

බොහෝ සමනලයින් හා සලබයින් තමා වසා සිටින ශාක පත්‍රයේ වර්ණය ගනී. තටුවල වර්ණ රටා උපයෝගී කරගනිමින් සැගවීමට ආසියානු පත්‍ර සමනලයා සමත්වන අතර ඔවුන්ගේ පියාපත් වල යටි පැත්ත ශාක පත්‍රයට සර්ව සම වන අතර එහි නාරටි වැනි රටා දක්නට ලැබේ. සමහර සමනලුන්ගේ සිරුරු වියළි කෝටු කැබැල්ලක් වැනි අතර තවත් සමහර සමනලුන්ගේ හිසේ ඇස් ආකාර විශාල රවුම් ලප පිහිටා ඇත.






Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...