ඓතිහාසික පිළිකුත්තුව නැතිවෙයිද?



ඓතිහාසික පි‍ළිකුත්තුව රජමහා විහාරය පිහිටියේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේය. කොළඹ-නුවර මාර්ගයේ පැමිණ මිරිස්වත් මංසන්ධියෙන් කිරිඳිවැල පාරේ එද්දී හමුවන බුත්පිටියෙන්   වමට හැරී ගමන් කරන විට පිළිකුත්තුව රජ මහා විහාරය හමුවේ. අක්කර 200 ක භූමි ප්‍රදේශයක මෙම විහාරස්ථානය පිහිටා තිබේ. ප්‍රාග් ඓතිහාසික ගල් ලෙන් 99කින් සමන්විත පාරිසරික අතින්ද විශාල වැදගත්කමක් උසුලයි.  ශ්‍රී ලංකාවේ වැඩිම ගල්ලන් සංඛ්‍යාවක් ඇති විහාරය ලෙස පිළිකුත්තුව රජමහා විහාරය සැලකේ.

මෙම ගල්ලෙන් ආශ්‍රිතතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව  කරන ලද කැණිම් වලින් ප්‍රාග් ඓතිහාසික මානවයින් භාවිතා කරන ලද ශිලා මෙවලම්, ශාඛ හා සත්ත්ව කොටස් හමුවී තිබේ. එමෙන්ම දඹදෙණි යුගයට අයත් කාසි හා මැටි මෙවලම්ද හමුවී තිබේ.

මෙම ගල්ලෙන් භික්ෂුන් වහන්සේලා විසින් භාවනායෝගිව වැඩ වාසය කිරිමට යොදාගෙන ඇතැයි පැරණි පොතපතේ සඳහන් වේ. ගල්ලෙන් වල කටාරම්ද දක්නට ලැබේ මෙම ප්‍රදේශයෙන් සෙල්ලිපි කිහිපයක්ද හමුවී ඇති අතර ඒවා  මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියවා වාර්ථා කර ඇත. ඉන් එකකින් කියවෙන්නේ පිළිකුත්තුව රජමහා විහාරය අශ්වාරෝහකයාගේ සහෝදරයා විසින් කරවා ශාසනයට පුජා කළ බවයි . වලගම්බා රජ සමයේ  මෙම විහාරය අවට ඇති වාරණ, මාලිගාතැන්න හා අස්ගිරිය යන රජමහා ‍විහාරස්ථාන සමග භූගතව සම්බන්ධවී තිබූ බව ද කියැවේ.

පිළිකුත්තු විහාරස්ථානයේ බුදුගෙය තුල මහනුවර යුගයට අයත් සමාධි පිළිමයක්, සැතපෙන පිළිමයක් හා මහනුවර යුගයටම අයත් චිත්‍ර දැකිය හැකිය . බුදුගෙය තුලට ඇතුලුවෙන ස්ථානයේ දෙපස මුරකරු චිත්‍ර දෙකක් දක්නට ඇත. මෙහි ඇති වි‍ශේෂත්වය වන්නේ එවා සිංහල සොල්දාදුවන්ගේ නොව පෘතුගීසි සොල්දාදුවන්ගේ වීමයි. මෙලෙස පැරණි ලාංකික චිත්‍ර  කලාවට පෘතුගිසි මුහුණුවරක් ලැබුණු එකම ස්ථානය පිළිකුත්තුව ලෙස සැලකේ. එමෙන්ම මෙහෙණින් වහන්සේලාගේ චිත්රක දැකිය හැකි එකම ස්ථානය ද පිළිකුත්තු විහාරස්ථානයේ බුදු ගෙය වේ.

චෛත්‍ය ඉදිරිපසින් බෝධීන් වහන්සේ දෙනමක් වැඩ වාසය කරන අතර ඒවා කුමර හා කුමරි  බෝධින් ලෙස හඳුන්වයි‍. සෘජුව වැඩුණු කඳක් සහිත බෝධින් වහන්සේ කුමර වන අතර, කඳ අතු බෙදුණු බෝධින් වහන්සේ කුමරි වේ. පෘතුගිසි සමයේ ඉදිකළ ආවාස ගෙය හා ඕලන්ද සමයේ ඉදිකළ  ආවාස ගෙය සම්බන්ධ කරමින් ලී පාලමක් තනා ඇත. පාලම සකස් කරද්දී ඇණ භාවිත නොකිරීම මෙහි ඇති වි‍ශේෂත්වයයි.

පාලම අසලින්ම පැරණි දෝලාවක් ප්‍රදර්ශනයට තබා ඇත. එය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට අයත්ව තිබූ එකකි. උන්වහන්සේ පිළිකුත්තු  විහාරයට මෙම  දෝලාවෙන් වැඩවමා ඇති අතර නැවත  ගොස් ඇත්තේ තිරික්කලයෙනි.

විහාර භුමියේ කුඩා පුකුණු දෙකක් හා කුඩා වැවක් ඇත. මෙම ස්ථාන වලට ජලය සපයාගෙන ඇත්තෙ ඉහළ කන්දේ සිට පැමිණෙන ජලය භූගත මාර්ග හරහා ලබා ගැනීමෙනි. ඉපැරණි ශිල්පින් සතුව පැවති ඥාණය මින් පිළිබිඹු වන අතර අදටත් මේවා නෙළුම් මලින් බරව විහාරයට අලංකාරයක් සපයයි.

පිළිකුත්තුව පෞරාණික මෙන්ම පරිසර සංවේදි  කලාප‍යක් ලෙසද ප්‍රකට වේ. පහතරට තෙත් කලාපයට අයත් වනාන්තර වල ලක්ෂණ පෙන්නුම් කරන මෙම වනාන්තරය ශාඛ හා සත්ත්ව විශේෂ රැසකට වාසස්ථාන සපයයි. වනාන්තරය පුරාවට ඉතා පැරණි පුස් වැල් දැකි හැකි වේ. ගම්පහ නගරයට ආසන්නයෙන්ම පිහිටා ඇති බැවිනුත්, කුඩා ප්‍රදේශයක විශාල සත්ත්ව, ශාක ප්‍රජාවක් දැකිය හැකි නිසාත්, පෞරාණික වටිනාකමත් නිසා වනජීවි   ඡායාරූප ශිල්පින්, ඉතිහාසඥයින් , පරිසරට ආදරය‍ කරන්නන් හට   මෙය ‍හො‍ඳ ‍තොතැන්නකි.

දඬුබස්නාමානය,භවත්‍රා වැනි ටෙලි නාට්‍යවලට හා චිත්‍රපටවලට රැසකට පසුබිම් තලය සපයා ඇත්තේ  පිළිකුත්තුවයි.

එ‍හෙත් කණගාටුවට කරුණ නම් මෙතරම් වටිනාකම් රැසක් සහිත මෙම ප්‍රදේශයට එල්ලවී ඇති  තර්ජනයයි. එම තර්ජනය එල්ල වී ඇත්තේ ද මිනිසාගෙන්මය.  දැනටමත් මෙම පරිසර කලාපය එළිපෙහෙළි කර අන්නාසි, රබර් හා පොල් වැනි වගා ආරම්භ කර ඇත. වන වැස්ම ඉවත් කිරීම නිසා මෙහි ජීවත් වන සතුන්ට බලපැම් එල්ලවී ඇති අතර පරිසරික වටිනාකමද කෙමෙන් කෙමෙන් වියැකෙමින් තිබේ. එනිසා පිළිකුත්තුව රැක ගැනීමට එක්වීම කාලීන අවශ්‍යතාවයකි.

- සංජය නුවන් -












Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්