Death of socrates හෙවත් සොක්‍රටීස්ගේ මරණය

 
Death of socrates හෙවත් සොක්රිටීස්ගේ මරණය නමැති ඉහත කළා කෘතිය (1787) ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු වන ජාක්-ලුවී-ඩේවිඩ් ගේ තෙල් සායම් චිත්‍රණයකි. මොහු නියෝජනය කරන කලා  භාවිතාව නව සම්භාව්යෝවාදය යයි කියනු ලැබේ. මොහුගේ තවත් ප්‍රකට චිත්‍ර ලෙස, ‘මරාත් ගේ මරණය’, ‘හොරෙෂියාගේ දිව්රුම’ හඳුනාගත හැකිය. 



මෙම ඉහත කලාකෘතියට පාදක වන්නේ මානව ඉතිහාසයේම එක්තරා ඛේදජනක සිදුවීමකි. තර්කය මුල් කරගත් දර්ශනයේ ආරම්භක චින්තකයා ලෙස සැලකිය හැකි, පුරාණ ග්‍රීක දාර්ශනිකයෙක් වූ සොක්‍රටීස්ගේ මරණය සිදු වන මොහොත මෙයට පාදක වී තිබේ. සොක්‍රටීස්ට වයස හැත්තෑවේ දී පමණ ඔහුට ග්‍රීසියේ පාලනය විසින් මුලික චෝදනා දෙකක් එල්ල කර ඔහු එම වරද පිළිගන්නේ නම් රටෙන් පිටුවහල් වන ලෙසත් නැතිනම් වස පානය කර මිය යන ලෙසත් නියෝග කරයි. රාජ්‍ය(පල්ලිය) විසින් පිළිගන්න ලද දේව මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීම සහ තරුණයන්ගේ සිත් දුෂණය කිරීම ඔහුට එල්ල වන චෝදනාවේ. තම ශිෂ්‍යන්ට සිය අවසාන පාඩම කියාදෙමින් චෝදනාවලට වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කල සොක්‍රටීස් වස පානය කල මියගිය බව ප්ලේටෝගේ ලේඛන වල සඳහන් වේ. 

මෙම චිත්‍රය දෙස හොදින් බලු විට ලුවී-ඩේවිඩ් ඉතාම කුඩා විස්තර කෙරෙහි පවා සැලකිල්ල දක්වමින්, මෙය නිර්මාණය කර ඇති බව පෙනේ. වැඩුණු මාංශපේශි සහිත මිනිස් රුප, ගෘහ නිර්මාණයේ සවිස්තරාත්මක බව, ආලෝකය හැසිරවීමේදී තෝරාගෙන ඇති ශිල්පිය ක්‍රම මේ තුල හොදින් හදුනාගත හැකිය. මෙහි පසුබිම දෙස බලන විට, වම්පස කෙලවර හැර ඉතිරි ගෘහ නිර්මාණ ආකෘතිය පැතලි ස්වාභාවයක් ගනී. මෙය රෆායෙල් සැන්ටිස්ගේ ‘ඇතන්ස් ගුරු කුලය’ චිත්‍රය දෙස බලන විට සංසන්දනාත්මකව වෙනස හදුනාගත හැකිය. ‘ඇතන්ස් ගුරුකුලය’ චිත්‍රයේ පසුබිම පිටුපසින් අහස තෙක් විහිදෙන අතර තිරස් අතට ද පසුබිමේ පැතලි ස්වාභාවයක් දක්නට නැත. එය ඒ අනුව චිත්‍රයේ ඉදිරියේ සිට පිටුපසටත්  වමේ සිට දකුණට හෝ දකුණේ සිට වමටත් වශයෙන් මුළුමනින්ම කියවා ගත හැකි චිත්‍රයකි. නමුත් මෙම ‘සොක්‍රටීස් මරණය’ චිත්‍රයේ ලුවී-ඩේවිඩ් අපට මෙය තිරස් අතට කියවීමට  යෝජනා කරයි. ප්‍රධාන සිදුවිම සිදු වන්නේ සමතල බිත්තියකට මෙපිටිනි. වම් කෙලවරේ තරමක් ඉහලින් ඇති කවුළුවකින් මෙම කුටියට ආලෝකය ලැබේ. එය ප්‍රධාන සිදුවීම ඉතාම මෘදු ආලෝකයක රඳවා තබයි. 

චිත්‍රයේ දකුණු පස කෙලවරේ සොක්‍රටීස්ගේ ශිෂ්‍යයන් ඉතාම නාට්‍යාකාරයෙන් වැලපෙමින් ශෝක වෙමින් සිටිති. මොවුන්ගේ රුප නිර්මාණයේදී ඩේවිඩ් එතරම් දීප්තිමත් වර්ණ භාවිතයක් කර නොමැත. අනෙකුත් රුප වලට සාපේක්ෂව දකුණු කෙලවර මෙම වැලපෙන ශිෂ්‍යයින් හා වම කෙලවරින් නික්මයන පිරිස මෙලෙස තරමක් අඩු තිව්රතාවයකින් නිහඬ වර්ණ සහිතව නිර්මාණය කර තිබීමෙන් චිත්‍ර ශිල්පියාට මෙම චිත්‍රයේ මැදට කෙතරම් විශාල අවධානයක් අවශ්‍ය වුවාදැයි දැනගත හැකිය. සොක්‍රටීස් අසලම වාඩිවී ඔහුගේ කලවය තදින් ග්‍රහණය කාගෙන සිටින්නේ ඔහුගේ වඩාත් පැරණිම සහ විශ්වාසවන්තම ශිෂ්‍යයා වන ක්‍රීටෝ ලෙස සිතිය හැකිය. ඔහු සොක්රටිස්ව ග්‍රහණය කරගෙන සිටින ආකාරය තුල ඔහුට මිය යාමට ඉඩ හැරීමට ඇති අකමැත්ත, ඔහුව මේ ලෝකය වෙත තබා ගැනීමේ ආශාව ක්‍රීටෝගේ ඉරියව්ව තුල කැපී පෙනේ. ඒ වෙනුවට චිත්‍රයේ හරි මැදට වන්නට ප්‍රභාමත් ආලෝකය මැද නොසැලෙන ඉරියව්වකින් සිටින සොක්‍රටීස්ගේ වම අත මරණින් මතු ජිවතය සංකේතවත් කරමින් ඉහලට යොමු වී තිබේ. මෙම හස්ත මුද්‍රාව වෙත කළා ඉතිහාසය කෙලින්ම බලපායි. රෆායෙල් ගේ ‘ඇතන්ස් ගුරු කුලය’ චිත්‍රයේ ප්ලේටෝගේ හස්ත මුද්‍රාවට මෙය සමාන වේ. ඩේවිඩ් සොක්‍රටීස් නිර්මාණය කල ආකාරය තුල අත්‍යවශ්‍යයෙන්ම අතිශෝක්තියක් ගැබ්ව තිබේ. සොක්‍රටීස් ඉතිහාසයට අනුව මෙතරම් කඩවසම් මිනිසෙකු නොවන අතර ඔහු මියගියේ වයස හැත්තෑ ගණන් වලදී බව ප්ලේටෝ ප්‍රකාශ කරන නිසා මේ තරම් ශක්තිමත්ව සුන්දරව ඔහු සිටියා යයි කිව නොහැකිය. එසේ නම් ලුවී-ඩේවිඩ්ට ඔහුව මේ තරම් සුන්දර ලෙස නිර්මාණය කරන්නට බලපෑ හේතුව කුමක් වන්නට ඇත ද? එක අතකින් තමා පිළිගත් දේ වෙනුවෙන් මියයාමට එඩිතර වූ මිනිසෙකුගේ ශ්‍රේෂ්ටත්වය නිරුපනය කිරීමට ඇති පෙළඹීම මින් නිරුපනය කරති සිතිය හැක. 

එක අතක් ඉහල අහස දෙස යොමු කරගත් සොක්‍රටීස්ගේ අනෙක් අත චිත්‍රය මැද තමා වෙත පිරිනමන් වස බඳුනට ඉහලින් රඳවාගෙන සිටි. මෙම වස බඳුන පිරිනමන අත හා එය ලබා ගැනීමට දිගුකරන සොක්‍රටීස් ගේ අත සමස්ත චිත්රයේම මධ්යයයි. ජාක්-ලුවී-ඩේවිඩ් නව සම්භාව්‍යවාදී චිත්‍ර කලාවේ පුරෝගාමියෙකි. ඔවුනට අවැසි වුයේ පැරණි සම්භාව්‍ය චිත්‍ර කලාවේ ලක්ෂණ නැවත ඔසවා තබන කලාවක් නිමානය කිරියි. එම නිසා ඩේවිඩ් අත්‍යවශයෙන්ම පැරණි පුනරුද-සම්භව්‍ය කලාවෙන් බොහෝ දේ තම චිත්‍ර සදහා භාවිත කර ඇති සිතීම පුදුමයක් නොවේ. මෙම විෂ බඳුන වෙත දිගු කර ඇති සොක්‍රටීස්ගේ අත, සිස්ටයින් දෙව්මදුරෙහි මයිකල් ආන්ජලෝ විසින් අඳින ලද ආදම් මැවීම චිත්‍රයේ නිරුපනය කර ඈති දෙවියන් වහන්සේගේ අතට බොහෝසෙයින් සමාන බවට සමකාලින කලා විචාරකයන්ගේ අදහසයි.මෙය බැලු බැල්මටම හදුනාගත හැකි සමානකමකි.  ඩේවිඩ් මෙම චිත්‍රයේ මධ්‍යයෙහි ඉතා ආලෝකවත් ස්ථානයක මේ විෂ බඳුන හා අත දෙක ස්ථානගත කරන්නේ කිසියම් අහම්බයකට නොවන බව පැහැදිලිය. එසේ නම් අපට පැමිණිය හැකි නිගමනය වන්නේ චිත්‍රයේ සමස්ත කතාව ලුවී-ඩේවිඩ් හට ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ කිසියම් ගැබුරු අදහසක් මේ මධ්‍යයෙහි සම්පින්ඩනය තුල ඇතුලත් වන බවයි. 

මයිකල ආන්ජෙලෝගේ ආදම් මැවීම චිත්රයෙන් නිරුපනය වන්නේ දෙවියන් වහන්සේ ආදම්ගේ ශරීරය මවා එයට ජීවිතය ලබාදෙන බයිබල් කතාවේ එම අවස්ථාවයි. මෙහි දෙවියන්ගේ අත ආදම්ගේ අතට ඉහලින් තිබේ. එය ආරම්භය පිළිබඳව හා උපත පිළිබඳව සංකේතයකි. දැන් සොක්‍රටීස් මරණය චිත්‍රයේ එම අතම තමා වෙත දිගු කරන විෂ බඳුනට ඉහලින් සොක්‍රටීස් අල්වාගෙන සිටි. එහි ඇත්තේ උපතක් නොව මරණයකි. ආදම් මැවීමේ දෙවියන්ට හිමිව තිබුණු අත සොක්‍රටීස් වෙත හිමිව තිබීමෙන් අපට පැමිණිය හැකි එක නිගමනයක් වන්නේ එය කිසියම් උප්පත්තියකට සම්බන්ධ බවයි. සොක්‍රටීස් මියගිය මොහොතේ උපත ලැබුවේ කුමක්ද? මට හැඟෙන ආකාරයට නම් ඒ නුතන දර්ශනයයි. අනෙක් පැත්තෙන් බැලුවිට ලුවී-ඩේවිඩ් දෙවියන්ගේ අත, විෂ බඳුන, එනම් මරණය වෙත දිගු කරගෙන සිටින ලෙස නිරුපනය කර තිබේ. අප දැනටමත් දන්නා පරිදි සොක්‍රටීස් හට එල්ල වූ චෝදනා දෙකෙන් එකක් වුයේ, දෙවිවරුන් ප්‍රතික්ෂේප කිරීමයි. ඒ අනුව මෙය අපට කියවා ගතහැකි අනෙක් ආකාරය නම් ‘දෙවියන් මියයාමට නියමිතයි ය’ ලෙසය. දර්ශනය එහි වර්ධනය සමග ආගම් හා විශේෂයෙන් දෙවියන්ගේ(ආගමික අර්ථයෙන්) පැවැත්ම අභියෝගයට ලක් කොට ඇත.

චිත්‍රයේ වම පස කෙලවර දොරටුවෙන් නික්ම යන කාන්තා රුපය සංවේගයට පත් සොක්‍රටීස්ගේ බිරිඳ බව පිළිගත් මතයයි. චිත්‍රය තුල මිනිස් රූප දහතුනක් පමණක් දක්නට ඇතත් ප්ලේටෝගේ ලියවිලි වලට අනුව මේ අවස්ථාවට සහභාගී වූ ගණන පහළොවකි. ඩාවින්චිගේ අවසන් භෝජන සංග්‍රහය චිත්‍රය තුලද දක්නට ඇති පරිදි යුරෝපයට දහතුනේ ඉලක්කම පිලිබඳ අසුභවාදී අදහස ඇති කලේ ජේසුස් වහන්සේගේ අවසන් භෝජනයට සහභාගී වු පිරිස දහතුන් දෙනෙකු වීමයි. සමහරවිට මෙම සංක්යාත්මක වෙනසට එය බලපාන්නට ඇත.
වම්පස සොක්‍රටීස්ගේ ඇඳ කෙලවර ශෝකය, කලකිරීම මුසු බැල්මකින්, එහෙත් වැලපෙන අනෙකුත් සමුහයට හා එම සිදුවීමට මුළුමනින් පිටුපා සහ එහි කොටසක් නොවෙමින් වියපත් පෙනුමැති පුද්ගලයෙක් හිඳ සිටි. බොහෝ දෙනාට අනුව මේ ප්ලේටෝය. නමුත්, ප්ලේටෝටම අනුව ඔහු මෙම අවස්ථාවට සහභාගී වුයේ නැත. අනෙක් අතට සාධක අනුව සොක්‍රටීස් මිය යන විට ප්ලේටෝ තරුණයෙකි. එසේනම් මහලු ප්ලේටෝ කෙනෙක් මේ සිදුවීමෙහි කොටස්කරුවෙක් වුයේ කෙසේද?

සොක්‍රටීස්ගේ දර්ශනය මුළුමනින්ම අප වෙත විවර කරන්නේ ප්ලේටෝ ය. අප සොක්රටිස්ව දැනගන්නේද ප්ලේටෝ හරහා ය. සොක්‍රටීස් අමරණිය වන්නේ ප්ලේටෝ ගේ වචන තුලිනි. සොක්‍රටීස්ගේ දර්ශනයේ අවසානය හා ප්ලේටෝගේ දර්ශනයේ ආරම්භය හඳුනාගත නොහැකි තරම් මුසු වී තිබේ. එම නිසා සොක්‍රටීස්ගේ මරණය පිලිබඳ මෙම සිදුවීමද අප දැනගන්නේ ප්ලේටෝගේ මතකයන් තුලිනි. ප්ලේටෝගේ ජීවිතය තුල මෙම සිදුවීම කෙතරම් බලපෑමක් සිදු කර ඇති ද යන්න ඔහුගේ ලියවිලි වලින් හෙළි වේ. සොක්‍රටීස්ගේ මරණය ලෙස අපි දන්නේ ප්ලේටෝගේ මතකයයි; එමනිසා ඔහුගේ වියපත් හිසට පිටුපසින්, ඔහුගේ වේදනාත්මක දෑස්වලට පිටුපසින් මෙම සමස්ත දර්ශනය ගොනු කොට ඇතැයි සිතිය හැක.

- එස්.යූ.ජී අබේවංශ -

Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්