යහපාලනයේ ටැබ් ටෙන්ඩරයට මොකද වුණේ?


තාක්ෂණය අතින් ලංකාවේ රාජ්‍ය ආයතනය බොහොමයක් තවමත් සිටිනුයේ වසර ගණනක් පසුපසින් බව අමුතුවෙන් කිව යුතු නැත. ෆයිල් කන්දකට යටවී රාජකාරි කරන නිලධාරීන් මෙන්ම තාක්ෂණය භාවිතා කරමින් ෆයිල් කන්දම ටැබ්ලට් පරිගණයට ගෙන රාජකාරි කරන නිලධාරීන්ද නැතුවාම නොවේ. උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ටැබ්ලට් පරිගණක බෙදා දීමේ යෝජනාවක් 2017 වසරේ අයවැයෙන් ගෙන ආවේ නව තාක්ෂණය කෙරෙහි ලංකාවේ දරුවන් හුරුකිරීමේ අරමුණෙන් විය යුතුය.
2017 වසර වෙනුවෙන් වූ අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 2016 වසරේ නොවැම්බරයේදී ය. ඒ එවකට මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසිනි. කරුණානායක මහතා යෝජනා කර තිබුණේ 2017 වසරේ උසස් පෙළ පන්තිවලට ඇතුළත් වෙන සිසන් වෙනුවෙන් සහ උසස්පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරු භවතුන් වෙනුවෙන් ටැබ්ලට් පරිගණක ලබා දිය යුතු බවයි.
එම වැඩකටයුතු ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ස්ථාවර කැබිනට් ප‍්‍රසම්පාදන කමිටුවක් පත් කරනු ලැබීය. ඊට අදාළ තාක්ෂණික කමිටුවක් ද පත් කෙරිණි. ආයතනයකට මිලදීම් ගැනීම් සිදු කරද්දී විනිවිධ භාවයකින් සිදු කිරීම උදෙසා පත් කර ඇති කමිටුව ප‍්‍රසම්පාදන කමිටුව ලෙස හැඳින්වේ. ඉදිරිපත්වන ලංසුවට අමතරව මිලදී ගන්නා භාණ්ඩයේ තත්ත්වය ගැන පරීක්ෂා කිරීම සඳහා පත් කරනු ලබන කමිටුව තාක්ෂණ කමිටුවයි.
මෙම කමිටු පත් කිරීමෙන් පසු මිලදී ගන්නා භාණ්ඩයේ තත්ත්වය ගැන තීරණය කර ඊට අදාලව ලන්සු කැඳවීම සිදු වේ. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ නියෝජිතයෙක් , මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙක් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජිතයන් සිව් දෙනෙක් අධ්‍යාපන අමාත්‍යංශ ටැබ් මිලදීගැනීමේ ටෙන්ඩරයට අදාළව තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයෝ වූහ. ඔවුන් පත් කරනු ලැබුවේ රාජ්‍ය මුදල් දෙපාර්තුව විසිනි. ඒ 2017 මාර්තු තුන්වැනිදා තම ලිපියකිනි.
උසස් පෙළ සිසුන් 159,078කට සහ ගුරුවරු 36,070ක් ස`ඳහා ටැබ් ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශ ප‍්‍රසම්පාදන කමිටුව 2017 ජුනි පස් වැනි දා ලංසු ආරාධනාව සිදු කළේය. ඒ බව පුවත්පත් දැන්වීම් මගින් ප‍්‍රසිද්ධ කළේය. ලන්සු කට්ටලයක් සඳහා ආපසු ලබා නොදෙන රුපියල් ලක්ෂ පහක ගාස්තුවක් මුදලින් ගෙවිය යුතු වූ අතර ලංසු භාර දිය යුතු අවසන් දිනය ලෙස එම දැන්වීමේ සඳහන් වූයේ 2017 ජුනි 28 වැනි දා ය.
ඒ අනුව ලංසුකරුවන් 10 දෙනකු ලංසු තැබීය. ජුනි අවසානයේ ලන්සු විවෘත කිරීමට නියමිතව තිබුණු අතර ලංසු ලබා දෙන අතරතුර ගැටලූ ගැන සාකච්ඡුා කිරීම සඳහා 2017 ජුනි 15 වැනි දා පූර්ව ලංසු සාකච්ඡුාවක් ද පැවැත්විණි. ජුනී 28 වැනි දා ලංසු විවෘත කරන තෙක් ලංසුකරුවන් බලා සිටිය දී ජුනි 24 වැනි දා අධ්‍යාපන අමාත්‍යංශයේ ප‍්‍රසම්පාදන කමිටුව යළිත් වරක් පුවත්පත් දැන්වීමක් පළ කළේය. ඒ ජූලි 12 වැනි දා අධ්‍යාපන අමාත්‍යංශයේ දී ලංසු විවෘත කිරීමට සැලසුම් කර ඇති බව දන්වමිනි. ඒ අනුව ලංසු විවෘත කිරීමේ දිනය දෙසතියකින් පමණ කල් ගියේය.
ඒ අනුව ජූලි 12 වැනි දා ලංසු විවෘත කරනතුරු ලංසුකරුවෝ බලා සිටියහ. අමාත්‍යංශ ටැබ් ටෙන්ඩරයට වූයේ ද බාලගිරි දෝසයට වූ දෙයමය. 12 වැනි දා ලංසු විවෘත කිරීමට තිබිය දී ජූලි 11 වැනි දා යළිත් වරක් පුවත්පත් දැන්වීමක් පළ කිරීමට ප‍්‍රසම්පාදන කමිටුව පියවර ගත්තේය. එම දැන්වීමෙන් කියැවුණේ ලංසු විවෘත කිරීමට ජූලි 31 සිදු කරන බවයි. දෙවැනි වතාවටත් ලංසු විවෘත කිරීමේ දිනය කල් දමා තිබුණේ සාධාරණ හේතුවක් නොමැතිවය.
ජූලි 31 වැනි දා ලංසු විවෘත කිරීමට නියමිතව තිබිය දී ජූලි 30 වැනි දා යළිත් පුවත්පත් දැන්වීමක් පළ කරමින් ලංසු විවෘත කිරීම අගෝස්තු 22 වැනිදාට කල් දැමීය. තුන් වතාවකින් කල් දැමුණු ලංසු විවෘත කිරීම අගෝස්තු 22 වැනි දා සිදු විය. රුපියල් බිලියන 4.1 සිට බිලියන 10 දගයන් දක්වමින් ඔවුන් ලංසු තබා තිබුණු අතර ලංසුකරුවන්ගේ සාම්පල (ටැබ් පරිගණකයක්) ලබා දී තිබුණේ හත් දෙනකු පමණි.
ටෙන්ඩර් ගනුදෙනුව අතරතුර ලන්සු විවෘත කිරීමට දෙවැනි වරට සැලසුම් කර තිබූ ජූලි 12 වැනි දා අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරමින් රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවට ලිපියක් යැවීය. මේ ස`දහා පත් කර ඇති තාක්ෂණික කමිටුව අවලංගු කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබිණි. තාක්ෂණික කමිටුව අවලංගු කිරීමට කිසිදු සාධාරණ හේතුවක් එම ලිපියේ සඳහන් කර තිබුණේ නැත.
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක් ජනරාල් පී අල්ගම මහතා ඊට පිළිතුරු ලිපියක් යැවීය. ඒ 2017 ජුනි 24 වැනිදාය. එම ලිපියෙන් අවධාරණය කර ඇත්තේ මෙය ප‍්‍රසම්පාදන මූලධර්මයන්ට ද පටහැනි බවයි. එම ලිපියේ තුන් වැනි ඡේදය මෙසේය.
‘‘ප‍්‍රසම්පාදන කාලසටහන අනුව පිරිවිතර ඇතලූ ලංසු ලේඛණ සකස් කිරීම, සමාලෝචනය කිරීම, ප‍්‍රචාරණ දැන්වීම් පළ කිරීම, ලංසු කැඳවීමේ ලේඛණ විකිණීම හා ලංසු කැ`දවීම දැනටමත් තාක්ෂණික ඇගැයීම් කමිටුව විසින් අවසන් කර ඇති අතර පිළිගත් ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදයන්ට පටහැනිව ලංසු විවෘත කිරීමේ දිනය කල් දමා ඇති බව නිරීක්ෂණය කරමි. එබැවින් මෙම අවස්ථාවේදී පත් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයන් සියලූ දෙනාම එකවර ඉවත් කිරීම රාජ්‍ය ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියේ විශ්වසනීයත්වයට හා විනිවිද භාවය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරයි. තවද, එය වැරදි පූර්වාදර්ශයකට හේතු වන අතර ප‍්‍රසම්පාදන මූලධර්මයන්ටද පටහැනි බව නිරීක්ෂණය කරමි.’’
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව අවධාරණය කරන පිරිදිම පිළිගත් ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදයට පටහැනිව අධ්‍යාපන අමාත්‍යංශය අවස්ථා තුනකදීම ලංසු විවෘත කරන දිනය කල් දැමූ අතර ලංසු විවෘත කරනු ලැබුවේ හතර වැනි දිනයේදීය. යළිත් වරක් තාක්ෂණික ඇගයීම් කමිටුව අහෝසි කරමින් කරන්නට ගිය සෙල්ලම හරි හැටි කර ගැනීමට නොහැකි වූයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව කෙළින් සිටි නිසාය.
කෙසේ වෙතත් එම තාක්ෂණික ඇගයීම් කමිටුවට සාමාජිකයන් ප‍්‍රමාණවත් නොවන්නේ නම් එම කමිටුව සඳහා තවත් නිලධාරීන් කිහිප දෙනකු පත් කර ගැනීම දුසුදු බව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව යෝජනා කළේය.
අගෝස්තු 22 වැනි දා ලංසු විවෘත කිරීමෙන් පසු තාක්ෂණික ඇගයීම් කමිටුව සිය කටයුතු ආරම්භ කළ අතර තම මුල් පිලිවිතරයන්ට අයන් නොවන අලූත්ම කොන්දේසියක් ලන්සු කරුවන්ට පැනවීය. ඒ ටැබ් සම්බන්ධයේ FCC ID සහ Grantee code එවන ලෙසයි. ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම්වලට එය ලිඛිතව දැනුම් දී තිබුණේ සැප්තැම්බර් 11 වැනිදාතම ලිපියකිනි.
ලංසු විවෘත කිරීමට පෙර අමාත්‍යංශය ඉදිරිපත් කළ පිරිවිතරවල දැක්වූයේ FCC සහ CE යන තත්ත්ව සහතිකියන් අවශ්‍ය බවයි. FCC ID සහ Grantee code අවශ්‍ය බව එහි සඳහන් වූයේ නැත.
FCC යනු එක්සත් ජනපදයේ ෆෙඩරල් සන්නිවේදන කොමිසමයි. විද්‍යුත් සන්නිවේදන උපකරණයක් ඇමෙරිකාවේ රටවල් තුළ අලෙවි කිරීමට සුදුසු තත්ත්වයේ ඇති බවට සහතික කරමින් දෙනු ලබන සහතිකය FCC තත්ත්ව සහතිකය ලෙස හඳුන්වයි. CE යනු යුරෝපා රටවල්වල භාවිත කිරීම සඳහා ලබා දෙන තත්ත්ව සහතිකයයි. ටෙන්ඩරය විවෘත කිරීමට පෙර ඉල්ලා තිබුණේ එෆ්සීසී සහතිකය සහ සී.ඊ සහතිකය පමනි.
නමුත් ඩෙන්ඩරය විවෘත කළ පසු පිරිවිතර වෙනස් කරමින් FCC ID සහ Grantee code එවන ලෙස දැන්වීම ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට අනුකූල නොවිණි. FCC ID නිකුත් කරනු ලබන්නේ ඇමෙරිකාව ඇතුළේ එම භාණ්ඩය විකුණද්දීය. විකිණීමට සුදුසු බවට FCC තත්ත්වය සහතිකය ලබා ගැනීමට එම භාණ්ඩ ඇමෙරිකාවේ විකිණිම අත්‍යවශ්‍ය නොවේ. නමුත් FCC ID ලබා ගැනීමට නම් එම භාණ්ඩය ඇමෙරිකාවට අපනය කළ යුතුය.
ලංකාවේ සන්නිවේදන උපකරන සම්බන්ධයෙන් වන නියාමන අයාතනය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවයි. එම කොමිසම FCC සහ CE යන තත්ත්ව සහතික දෙකෙන් එකක් හෝ ඇති උපකරණ ලංකාවේ භාවිතය සුදුසු බව පිළිගනී. ඉන් එහා ගොස් අධ්‍යාපන අමාත්‍යංශයේ ගනුදෙනුවේදී FCC ID ඉල්ලා සිටීම බරපතල ගැටලූවකි. ඊට හේතුව එක් ලංසුකරුවක-ට විශේෂත්වයක් දැක්වීමේ අරමුණින් එලෙස කළාදැයි සාධාරණ සැකයක් ඇති වන නිසාය.
මෙම ටැබ් ලංසුවට ඉදිරිපත් වූ ආයතන 10 ඉදිරිපත් කළ ලංසු මිල ගණනක් රූපසටහන 01හි දැක්වෙන අතර එහි අවම ලංසුව රුපියල් කෝටි 413කි. දෙවැනි මිල රුපියල් කෝටි 419ක් වූ අතර තෙවැනි මිල වූයේ කෝටි 469කි. ඉන් පසු පිළිවෙළින් කෝටි 484ක්, කෝටි 533ක්, කෝටි 560ක්, කෝටි 646ක්, කෝටි 742ක්, කෝටි 822ක් සහ කෝටි 1299ක් වශයෙන් මිල ගණන් ඉදිරිපත් වී තිබිණි.
පෙර සඳහන් කළ පරිදිම ලංසු විවෘත කර මාසයක් පමණ ගිය පසු පිරිවිතර වෙනස් කිරීම නිසා ලංසුකරුවෝ දැඩි අපහසුතාවට පත්වූ අතර ඔවුන් ඉල්ලූ FCC ID සහ Grantee code තිබුණේ එක් ආයතනයකට පමණි. ඒ අනුව මිල ගණන් අනුපිළිවෙළ අනුව අට වැනි තැනට ලංසු ඉදිරිපත් කළ එම ආයතනයට ගනුදෙනුව ප‍්‍රධානය කිරීමට අමාත්‍යංශය තීරණය කළේය.
එම තීරණයෙන් පසු එම සමාගම සමඟ සාකච්ඡුා කරමින් ඔවුන්ගේ මිල කෝටි 689කට අඩු කරගෙන තිබිණි. ඉදිරිපත් වූ අවම මිලට වඩා එය රුපියල් කෝටි 270ක පමණ වැඩි මිලකි. ඇතැම් විට අඩුම මිල ගණන් ඉදිරිපත් කළ ලන්සුකරුවන් සමග සාකච්ඡුා කළේ නම් ඔවුන්ගේ මිල ගණන් තවදුරටත් අඩුවීමට තිබුණු අතර ප‍්‍රසම්පාදන සම්ප‍්‍රදායන්ට පිටින් යමින් ලංසු විවෘත කිරීම කල් දමා, ලංසු විවෘත කිරීමෙන් පසු පරිවිතර වෙනස් කිරීම නිසා ටැබ් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 270ක් වැඩිපුර ගෙවීමට දැන් සිදුවී තිබේ.
මිලදී ගැනීම් සඳහා ගෙවන්නේ බලධාරීන්ගේ පෞද්ගලික මුදලක් නොවන අතර රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ මුදල්ය. තීන්දු තීරණ ගන්නා බලධාරීන්ට වැටුප් ගෙවන්නේද, මෙවැනි ගනුදෙවලදී මිලදීගැනීම් වෙනුවන් සමාගම්වලට ගෙවනු ලබන්නේ ද කිරිපැකට්ටුවේ සිට ගසන බදු මුදලිනි.
මෙම ගනුදෙනුවේ රුපියල් කෝටි 270 ඉතිරිකරගන්නේ නම් රටේ සියලූම ගුරුවරුන් වෙනුවෙන් ටැබ් පරිගණක ලබා දීමට හැකියාව තිබිණි. ප‍්‍රසම්පාදන සම්ප‍්‍රදායන් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට නිදි පිළිතුරක් නැත. අමාත්‍යංශ බලධාරීන් කියනුවේ වැඬේ හරියට සිදුවූ බව පමණි. මේ ලිපිය ලියන මොහොත වන විට මෙම ටෙන්ඩර් ගනුදෙනුවට එරෙහිව ජනාධිපති අභියාචනා මණ්ඩලයට අභියාචන හයක් ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට තිබේ.
මෙම විනිවිද භාවයක් නැති ගනුදෙනුව සම්බන්ධයෙන් ද අවධානය යොමු කර සුපිලිපන් භාවයට වෙට්ටු දමන්නෝ කවරුහුදැයි හෙළි කරගෙන කඩිනම් පියවර ගනු ඇතැයි ටැප් අපේක්ෂාවෙන් සිටින සිසුන් මෙන්ම වංචාවට දූෂණයට එරෙහි පිරිස්ද බලාපොරොත්තු වෙති.
(2017 නොවැම්බර් මාසයේ ලිපියකි)

තරිඳු ජයවර්ධන Tharindu Iranga සහ බිඟුන් මේනක ගමගේ Bingun Menaka Gamage
(tharindudld@gmail.com/ bingungamage88@gmail.com)


Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්