දැරියට පාසල අහිමි කළ ඒඩ්ස් භීතිකාව

‘මම ලොකු වුණාම දොස්තර කෙනෙක් වෙනවා. මට දැං බනින හැමෝටම මං ලොකු වුණාම බේත් දෙනවා.’
එලෙස කිවේ   හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නව හැවිරිදි දැරියකි. ඇය අප සමඟ එලෙස ප‍්‍රකාශ කරන විට හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිය ද දැන් ඇය සිටින්නේ පස් වැනි ශ්‍රේණියේය. ඇයට   බනින්නේ ඇගේ ඇස් පෑදීමට සිටින ගුරුවරුන් සහ වැඩිහිටි පිරිසකි. මේ සිඟිත්තියගේ මවට ‘ඒඩ්ස්’ රෝගය වැළඳී ඇතැයි කියමින් පාසලේ ගුරු පිරිසක් සහ ඇය ඉගෙනුම ලබන පන්තියේ දරුවන්ගේ දෙමාපියන් පිරිසක්  වෙනස්කම් කරති. දැරිය පාසලට පැමිණීම වැළැක්වීමට උත්සාහ ගනිති. ඔවුන්ගේ සිත්හි කරුණාව, මෛත්‍රිය නැතත් මේ කුඩා දැරියට ඔවුන් කෙරෙහි වෛරයක් නැත. ‘මට දැන් බනින හැමෝටම මං ලොකු වුණාම බේත් දෙනවා.’ ඇය කියන්නේ ඒ නිසා විය යුතුය.
මෙය පසුගිය වසරේ මාර්තු මාසයේ කරළියට ආවේ එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකින් පසුවය. ඒ අනුව ඇයට කරන වෙනස්කම් ගැන සොයා බැලීමට අපි ද පසුගිය මාර්තු මාසයේ ඇය ජීවත් වන ප‍්‍රදේශයට ගියෙමු. ඉන් පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැදිහත් වී දැරියට යළි පාසලට යෑමේ අවස්ථාව සලසා දුන්නේය. ඊට වසරකට පසු එනම් දැන් යළිත් එම ගැටලූව කරළියට පැමිණ තිබේ.
දැරිය ඉගෙනුම ලබන්නේ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසලකය. දැරිය හඳුනා ගැනීමට නොහැකි වන පරිදි ඇගේ පාසලේ නම මෙන්ම ඇගේ පවුලේ උදවියගේ නම් ගම් ද භාවිත නොකරමු.
ඇය එම පාසලට ඇතුළත් කරනු ලැබුවේ මීට වසර පහකට පෙරය. දැරිය දැන් ඉගෙනුම ලබන්නේ පස්  වැනි ශ්‍රේණියේය. ඉගෙනුම අතින් මේ සිසුවිය එම පාසලේ අන් සිසුන් පරදා පෙරමුණේ සිටින්නීය. මේ ප‍්‍රශ්න පටන් ගැනීමට පෙර එනම් 2016 වසරේ පළමු, දෙවැනි සහ තුන් වැනි වාර අවසාන විභාග තුනෙන්ම ඇය පන්තියේ පළමු වැනියා ය. 2016 වර්ෂාවසාන විභාගයේ ඇය පන්තියේ පළමු වැනියා වූයේ සියලූ විෂයන්වලට ලකුණු 89.16ක සාමාන්‍යය අගයක් ලබා ගනිමිනි.
සිදුවූ අසාධාරණය ගැන සොයා බලන්නට අප පසුගිය වසරේ එහි යන විට දැරිය ‘පියා’ සමඟ පාර අයිනට වී සෙල්ලම් කරමින් සිටියාය. ‘ඒඩ්ස්’ යනු කුමක්දැයි ඇය දැන්නේ නැත. ඇය දන්නේ තමාට පාසලට එන්නට නොදී කරන කෙනෙහිලිකම් ගැන පමණි. පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකු සහ දෙමාපියන් කිහිප දෙනකු නිතර නිතර ‘ඒඩ්ස් හැදුණු ළමයා’ යැයි චෝදනා කරන නිසා දැරිය ඇය හදා වඩා ගන්නා  මාපියන්ගෙන් නිතර අසන්නේ ‘ඒඩ්ස් කියන්නේ මොකක්ද?’ කියා පමණි.
දැරියගේ මවට තවත් පුතකු බිහිවූ පසු දැරිය හදා වඩා ගැනීමට බාර වූයේ මවගේ සහෝදරියකටය. සහෝදරිය ඇගේ සැමියා සමඟ දරුවා රැක බලා ගත්තාය. දැරිය පාසලට භාර දෙන දිනයේ පාසලට පැමිණියේ මවයි. ඉන් පසු ඇය පාසලට නොගිය අතර දැරිය මව සහ පියා යනුවෙන් ආමන්ත‍්‍රණය කරන්නේ ඇය රැක බලා ගන්නා දෙදෙනාට ය. කාලය මෙසේ ගත වෙද්දී දැරිය වැදූ මවට ‘එච්අයිවී’ ආසාදනය වී ඇතැයි ඇතිවූ සැකයක් මත   පරීක්ෂණයකට බඳුන් වූවාය. ඉන් පසු ඇය ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සමඟ ළඟින්ම කටයුතු කරමින් ඒඩ්ස් රෝගය ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වූවාය.
2017 මුල් කාලයේ   රූපවාහිනී නාලිකාවකින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර එම කාන්තාව ද දැනුම්වත් කිරීම් සිදු කරන අයුරු දැක්වෙන දර්ශන පෙන්වා තිබුණි.
ඇය නිතර පාසලට නොපැමිණියත් දැරිය බාර දෙන දිනයේ පාසලට ගිය මතකය දෙමාපියන්ට සහ ගුරුවරුන් කිහිප දෙනකුට තිබුණි. රූපවාහිනී වැඩසටහනෙන් මාසයකට පමණ පසු එම වැඩසටහන ජංගම දුරකතනයකින් පාසලේ තවත් පිරිසකට පෙන්වා තිබුණේ   ගුරුවරියකි. ඉන් පසු කට කතාවලට අත්තටු ලැබුණා මෙන් විය.    ‘අහවල් ළමයාගේ අම්මටත් ඒඩ්ස්. ළමයටත් ඒඩ්ස්.’ යනුවෙන් කට කතා පැතිරෙන්නට විය. එම  දැරිය ඉගෙනුම ලබන පන්තියේ දරුවන්ගේ දෙමාපියන්ගේ කනට ද එම කතාව යන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. පාසලේ ගුරුවරු කිහිප දෙනෙක් සහ දෙමාපයෝ කිහිප දෙනෙක් එක්ව දැරිය රෝගී දැරියක ලෙස හංවඩු ගැසූහ. දැරිය දකින දකින අවස්ථාවල ‘ඒඩ්ස් හැදුණු ළමයා’ යැයි කියමින් ඇය කොන් කරනු ලැබුවාය.
‘එච්.අයි.වී’ යනු සුළඟින්, අතපත ගෑමෙන් බෝවන කැස්සක්, උණක් මෙන් රෝගයක් නොවන බව හත සහ අට ශ්‍රේණිවල සෞඛ්‍ය පොතෙන් පවා කියා දෙද්දී ඒවා කියා දෙන්නට සිටින ගුරුවරු පිරිසක් ද අනිසි බියක් මවා ගනිමින් දැරිය පාසල් ඒම වැළැක්වීමට උත්සාහ ගත්හ. ‘ඒඩ්ස්’ රෝගය වැළඳී තිබුණ ද එය සුළඟින් හෝ අත පතගෑමෙන් බෝ නොවන රෝගයක් නිසා ‘ඒඩ්ස්’ වැළැඳුණු පුද්ගලයන් ඈත් නොකරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙද්දී   මේ සිසුවිය දිනෙන් දින පාසලෙන් කොන් වන්නට වූවාය.
මේ අතර 2017 මාර්තු මාසයේ  දිනක ඇය හදා වඩා ගන්නා දෙමාපියන්ට පාසලෙන් කැඳවීමක් ලැබිණි. ඒ අනුව ඔවුහු පාසලට ගොස් විදුහල්පති හමු වූහ. දෙමාපියන් කැඳවූ හේතුව පැහැදිලිව ප‍්‍රකාශ නොකළ විදුහල්පති සිය පුටුවෙන් නැගිට ගිය අතර පාසලේ වගකීමක් ඇති තවත් ගුරුවරියක් කතාව ඇරුඹුවාය. දැරියට ඒඞ්ස් වැළ`දී ඇතැයි යන කතා නිසා දැරිය පාසලට පැමිණීම ගැන අනෙක් මවුපියවරුන් තරහෙන් පසුවන බව කී එම ගුරුවරිය මේ දැරිය පාසලෙන් ඉවත් කරගෙන යන ලෙස දැන්වූවාය. විදුහල්පති ද පසුව එම මතයේම සිටියේය.
එතැන් සිට දැරිය පාසලට යද්දී දෙමාපියෝ පිරිසක් වරින් වර දෙස් දෙවොල් තැබූහ. දැරිය පාසලට එද්දී අනිත් දරුවන් පාසලෙන් ඉවත් කරගෙන ගියහ.
‘පන්ති භාර ටීචරුයි, ඉංග‍්‍රීසී ටීචරුයි තව කීප දෙනකුයි විතරයි දුව ගැන කාරුණික වුණේ. දුව ගැන හොයලා බැලූවේ. ’ යැයි දැරිය රැක බලා ගන්නා මව විස්තර කරද්දී මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරිය දුවගෙන ආවාය.
‘දූ කැමතිම මොනවා ඉගෙන ගන්නද?’
‘මං කැමතිම ඉංග්‍රීසි ඉගෙන ගන්නයි.’ කියමින් ඇය ලස්සන අත් අකුරු සහිත ඇගේ ඉංග්‍රීසි පොත ගෙනැවිත් පෙන්නුවාය.
‘කවුද දූ කැමතිම ටීචර්?’
‘මං කැමතිම ඉංග්‍රීසි ටීචර්ටයි, අපේ ටීචර්ටයි.’ ඇය ‘අපේ ටීචර්’ යැයි කීවේ පන්ති භාර ගුරුවරියටය.
යළි දැරිය එතැනින් ඉවත්ව ගිය පසු මව කතාව ඇරුඹුවාය.
‘මේ දරුවා හරිම දක්ෂයි. හැමදාම පන්තියේ පළමු වැනියා. කොට්ඨාස, කලාප තරගවලිනුත් දිනලා තියෙනවා. දුව හරිම කැමතියි ඉස්කෝලේ යන්න. ඉස්කෝලෙන් ආපහු එන්න වුණු දවසේ තමයි දුව අර චිත‍්‍රය ඇන්දේ.’ මව චිත‍්‍රයක් පෙන්වමින් කීවාය. ඒ සිතුවමෙහි වූයේ සිසුවිය මව සහ පියා සමඟ පාසලට යන අයුරුය.
‘දුව දහම් පාසල් යනවා. අපි හිතුවේ මේ ප‍්‍රශ්නය නිසා දරුවා දහම් පාසල් යවන්නත් බැරි වෙයි කියලා. නමුත් හාමුදුරුවො කතා කරලා පන්සලට එන්න කියලා කිව්වා දරුවා දිගටම දහම් පාසල් එවන්න කියලා. ඒක අපට ලොකූ අස්වැසිල්ලක්. අපි නිතරම පන්සල් යනවා. මල් පහන් පූජා කරලා ප‍්‍රාර්ථනා කරන්නේ ඒ පිනෙන් හරි මේ දරුවගේ ප‍්‍රශ්නය විසඳෙන්න කියලයි.’
‘දුවට ගෙනියන්න ජාතික කොඩියයි සිංහ කොඩියයි ගෙන්න නගරයට යන්න  ඕනෑ.’ යැයි මව  කියද්දී හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණිය  මව නිවැරදි කරමින් ‘ජාතික කොඩියයි සිංහ කොඩියයි කියන්නේ එකමනේ... මට  ඕනෑ ජාතික කොඩියයි රාජ්‍ය ලාංඡනයයි.’   කීවාය.
දැරියට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට ඇත්තේ තවත් මාස හතරක පමණ කාලයකි. ‘මට ශිෂ්‍යයත්වය ලියන්න ලැබෙයි නේද?’ දැරිය නිතර දෙමාපියන්ගෙන් විමසන්නීය.
‘දැන් මේ පාසලේ තවදුරටත් ඉන්න අමාරුයි වගෙයි. අපි කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ. අපි ඉල්ලන්නේ අපේ දරුවට ඉගෙන ගන්න අවස්ථාව දන්න කියලා විතරයි. දරුවාට ගැටලූවක් නැතිව ශිෂ්‍යත්වය ලියන්නවත් පාසලක් ලැබුණොත් හොඳයි.’  ‘පියා‘ අවසන් වශයෙන් කීවේය.
මේ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද  විමර්ශනයක් ආරම්භ කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සිසුවියට පාසල් යෑමේ අවස්ථාව ලැබිණි. ඒ වසරකට පමණි. දැන් යළිත් ඇයට පාසල එපා කරවා තිබේ. මේ ගැන මානව හිමිකම් කොමිෂන් සභාව යළිත් විමර්ශනයක් ආරම්භ කර ඇත. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු බලධාරීන් ගෙන්වා මීට සතියකට පෙරද විමර්ශනයක් සිදු විය.   දැරියට හානියක් නොවන අයුරින්, දැරියගේ අන්‍යයතාවය ආරක්ෂා වන අයුරින් යම් විසඳුමකට යෑමේ යෝජනා කිහිපයකට අධ්‍යාපන බලධාරීන් එකඟ වූ බව කිමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
කිසිම හේතුවක් නිසා දරුවකුගේ අධ්‍යාපන අයිතිය ඇහිරිය නොහැකි බව මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙක් පැවසීය.

Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්