අලි මිනිස් ගැටුම
අලි මිනිස් ගැටුම පිළිබද සුවිශේෂි ලිපියක්
පළමු කොටස
පළමු කොටස
අලි දැනට ගොඩබිම ජීවත් වන විශාලම සත්ව වර්ගයයි.අලි ක්ෂීරපායි හෙවත් කිරි බී වැඩෙන සතෙකි. අනෙක් ක්ෂීරපායීන්ට වඩා අලියා පෙනුමෙන් වෙනස් වේ. මේ නිසා ක්ෂීරපායි සතුන් වර්ගීකරණයේදී අලි වෙනමම පවුලකට වෙන්කර තිබේ. ඒ පවුල හැදින්වෙන්නේ ප්‍රොබෝසිඩේ ( Proboside ) යන නමිනි. මෙම පවුලට අයත් වන්නේ හොඞවැලක් සහිත අලි පමණය.
අද වන විට ලෝකයේ ඉතිරි වී ඇත්තේ අලි විශේෂ දෙකක් පමණි. ඒ අප්‍රිකානු
අලි හා ආසියාතික අලිය. අප්‍රිකානු අලියා විද්‍යාත්මක නාමකරණයේදී Loxodonta Africana වන අතර ආසියාතික අලියා Elephas Maximus වශයෙන් හදුන්වයි.
සිංහල බසින් අලින් විවිධ නම් වලින් හැදින්වෙයි. දළ සහිත පිරිමි සතුන් ඇත්තු ලෙසද දළ රහිත පිරිමි සතුන් අලි ලෙසද හැදින්වේ. ගැහැණු සත්තු ඇතින්න , කෙනෙර යන නම් වලින් හැදින්වේ.
ආසියානු අලින්ගේ විවිධත්වය
අද අපට අලි දකින්නට ලැබෙන්නේ අප්‍රිකා මහද්වීපයේ හා ආසියා මහද්වීපයේ රටවල් කිහිපයක පමණි. අතීතයේදී ආසියානු මහද්වීපය පුරාම අලි වාසය කර ඇත. එනම් අද ඉරාකය සහ ඒ අවට රටවල් වලට අයත් දකුණු ඉරානය , පාකිස්තානය මුළු ඉන්දීය අර්ධද්වීපයට අයත් බිම් ප්‍රදේශවල සිට අගිනිදිග ආසියානු කලාපය, නැගෙනහිර චීනය මෙන්ම දූපත් ලෙස වෙන්වී ඇති ශ්‍රී ලංකාව , සුමාත්‍රාව හා ඉන්දුනීසියාව දක්වා ආසියානු අලි පැතිරී ජීවත් වූහ. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වී ඇත. මේ වනවිට ආසියානු අලි ජීවත් වන්නේ ඉන්දියාව , බංග්ලාදේශය , භූතානය , කාම්බෝජය , ඉන්දුනීසියාව , ලාඕසය , මැලේසියාව , වියට්නාමය , මියන්මාරය , නේපාලය , තායිලන්තය , සුමාත්‍රාව සහ ශ්‍රී ලංකාව යන රටවල් 13ට අයත් භූමි ප්‍රදේශවල පමණි. ඉරාකය , පාකිස්තානය ඇතුළු ආසියාවේ බටහිර ප්‍රදේශවලින්ද මේ වන විට අලි වද වී ගොස් අවසන් ය.
පවතින පරිසරයේ ස්වාභාවය අනුව ආසියානු අලි සහ අප්‍රිකානු අලි අතර වෙනසක් දැකිය හැකිය. එනම් අප්‍රිකානු අලි අර්ධ ශුෂ්ක සහ ශුෂ්ක දේශගුණයට අනුවර්තනය වී පරිණාමයට පත්ව ඇත. එහෙත් ආසියාතික අලියා පරිණාමික අනුවර්තනයක් දක්වා ඇත්තේ තෙත් සහිත දේශගුණික පරිසරයකටය. මේ පිළිබඳව අදහස් දක්වන විද්වතුන් පෙන්වා දෙන්නේ
දැනට වසර 10,000කට පමණ පෙර ආසියාතික කලාපය ශීතල දේශගුණික තත්ත්වයක් තිබූ බවයි. මේ මතය තවදුරටත් සනාථ වන්නේ හිම ප්‍රදේශවල ජීවත් වු ලොම් සහිත මැමත් නම් අලි විශේෂය වඩාත් සමීප ඣාති සම්බන්ධතාවයක් පෙන්වන්නේ ද ආසියානු අලින් වීමයි. ආසියානු අලි වද වී තිබෙන බටහිර ආසියානු ප්‍රදේශ දැනට වසර 6000කට පෙර අද තිබෙන අර්ධ ශුෂ්ක තත්ත්වට වඩා සම්පූර්ණයෙන් වෙනස්ව තෙත් වනාන්තර වලින් පිරී තිබූ බවයි.
ආසියාතික කලාපයේ ක්‍රමයෙන් අලි වද වී යාමට වනාන්තර ප්‍රතිශතය අඩු වීම බලපා ඇත. දැනට ආසියානු අලි ජීවත්වන ස්වාභාවික පරිසරය තුල සිදුකරන වේගවත් වන විනාශය සහ අලින්ගේ වාසභූමි වෙනත් වගාබිම් , එනම් පයිනස් , යුකැලිප්ටස් සහ තේක්ක වැනි ඒකීය භෝග වගා බවට පරිවර්තනය කිරීම ගොවි ජනපද වැනි මානව අවශ්‍යතා සදහා කැළෑ බිම් වෙනස් කිරීම නිසා ආසියාතික අලින්ගේ පැවැත්ම තර්ජනයට පත්ව ඇත.මේ හේතුව නිසා ආසියානු අලි ලෝක සංරක්ෂණ සංගමයට ( IUCN ) අනුව වදවීයාමේ තර්ජනයට ලක්ව ඇති සතුන්ගේ ලේඛනයට ඇතුලත්ව ඇත.
Elephas Maximus විශේෂයට අයත් වන ආසියානු අලින්ගේ උප විශේෂ ගණනාවක් අතීතයේදී ජීවත් වූ නමුත් අද වන විට ඉතිරිව ඇත්තේ උප විශේෂ තුනක් පමණි.
Elephas Maximus Maximus උප විශේෂය ශ්‍රී ලංකාවට පමණක් සීමා වී ඇත.Elephas Maximus India උප විශේෂය ඉන්දියාව , මියන්මාරය , තායිලන්තය , ලාඕසය , කාම්බෝජය , වියට්නාමය වැනි රටවල හමුවේ. Elephas Maximus Sumatrana විශේෂය හමුවන්නේ සුමාත්‍රාවේ සහ බටහිර මැලේසියාවේ පමණි.
ශ්‍රී ලංකාවේ අලි
ශ්‍රී ලංකාවේ හමුවන අලි විශේෂය, එනම් Elephas Maximus
Maximus උප විශේෂය ආසියාතික අලි විශේෂ අතර විශාලතම සහ වර්ණය අතින් ඉතා තද පැහැයක් ගන්නා සත්වයෙකි. ඈත අතීතයේ සිටම අලි ඇතුන් අපට සුවිශේෂී සත්ව වර්ගයක් වී සිටියහ. ශ්‍රී ලංකාවේ පුරා ජෛව විවිධත්වය පිළිබඳව සලකා බැලීමේදී ලංකාවේ වදවී ගිය අලි විශේෂ කිහිපයක් පිළිබඳ රත්නපුර සත්ව සන්තතිය පිළිබඳ ලැබී ඇති පොසිල සාධක තහවුරු කරයි. වර්තමානයේ ලංකාවේ ජීවත්වන උප විශේෂයට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල අලි විශේෂ සිටි බව මෙම තොරතුරු වලින් හෙළි වී ඇත. විශේෂයෙන් පාරිසරික තත්ත්වයන් වෙනස් වීම ඔවුන් වදවී යාමට බලපා ඇත.
ස්වාභාවික සාධක වෙනස් වීම සහ වෙනස් කිරීම හේතුවෙන් අලියා පමණක් නොව ඕනෑම සත්වයකුගේ පැවැත්ම සදහා අභියෝග වන අවස්ථා වලදී ගැටුම් නිර්මාණය වෙයි. මන්ද ඔවුන් පැවැත්ම වෙනුවෙන් සටන් වදී. පරිසර විද්‍යාත්මකව සත්වයෙකු එක් තැනක සිට තවත් ස්ථානයක් දක්වා සංසරණය සිදු කිරීම අවශ්‍යතා හතරක් මත පදනම් වෙයි. අලියා සම්බන්ධයෙන්ද මෙම ජීව විද්‍යාත්මක ගුණය දැකිය හැකිය.
සංචරණ අවශ්‍යතා
1. ආහාර අවශ්‍යතාව සදහා වූ සංචරණය
2. ලිංගික අවශ්‍යතාව සදහා වූ සංචරණය
3. ආරක්ෂාව අවශ්‍යතාව සදහා වූ සංචරණය
4. පාරිසරික අවශ්‍යතාව සදහා වූ සංචරණය
අලියාගේ ජීවන පැවැත්මට පදනම් වූ ඉහත කරුණු සපුරා ගැනීමට අවශ්‍ය අවකාශය මිනිසා විසින් අවහිර කිරීම අලි මිනිස් ගැටුමේ ඉතිහාසයයි. එය වර්තමානය වන විට උග්‍ර අතට පත්ව ඇත. ශ්‍රී ලංකා ජන සමාජය තුළ අලියා සමග සහජීවනයෙන් ජීවත්වීමේ මහා සංස්කෘතික අනුවර්තනයක් දක්වන ලදි.අතීතය තුළ පැවති එම ලක්ෂණය වර්තමානය තුළ ගැටුමක් ලෙස නිර්මාණය කොට ඇත.
අතීතයේ සංස්කෘතියේ සහ ජීවිතයේ එක් කොටසක් ලෙස දකින ලදී. කුඩා කල සිට ජනයා තුළ කුතුහලය දනවන සත්ත්වයෙක් ලෙස අලියා හැදින්විය හැකිය.
“ ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා ”වැනි ළමා ගීත තුළින් අලියා පිළිබඳව කුතුහලයක් දරුවා නලවන තැනේ සිට අප සමග පැවති සංස්කෘතික බැදීමක් ආදරය මෙන්ම ගවුරවය ද ජීවිතයේ මුල්වරට ඇති කිරීමට උදව් කල බවට සැකයක් නැත.
“කන්දේ කකා ලන්දේ යන බෝසත්තූ ” ලෙස ජනවහර තුළ කියමන් පවා නිර්මාණය වී ඇත්තේ අලි සමග අප ගත කල සාමකාමී වටපිටාව කෙතරම්ද යන්න පැහැදිලි කරමිනි.
පරිසරය තුළ මිනිසා සහිත සතා සිවුපාවා , භූමිය , ආහාර , ජලය වැනි සහජීවනයෙන් සහ සහභෝගීත්වයෙන් යුතුව බෙදා ගන්නට සමත් විය. අලියාට අවශ්‍ය පාරිසරික වටපිටාවට හානියක් නොකොට ජීවිතය බෙදා ගැනීමට තිබූ වටපිටාව වනසා දැමීම අලි මිනිස් ගැටුමට පාර කපා ඇති බව නොරහසකි.
අලියා සමග බැදුණු ජීවන අවශ්‍යතා
අලියා පරිසරයේ වෙනත් සත්ත්වයන් සේම උන්ගේ ජීවිතය හා බැදුණු අවශ්‍යතා රැසකි. ඒ අතර ආහාර හා ජල අවශ්‍යතාව ප්‍රධාන වෙයි. අලියා සම්පූර්ණ ශාක භක්ෂකයෙකි. අලින්ගේ දිනපතා ආහාරයෙන් සියයට හැත්තෑවක් පමණ අඩංගු වන්නේ විවිධ තණකොළ වර්ගය. වැඩුණු අලියකුට දිනයකට ශාක කොටස් කිලෝග්‍රෑම් 150-250ක් පමණ අවශ්‍ය වෙයි. අලියාගේ වයස අනුව මෙම සංඛ්‍යාව යම් යම් වෙනස්කම් වලට භාජනය වෙයි. අලියා තම එක් දිනක් නැතිනම් දවසට පැය 16ක් ආහාර ගැනිමට සාමාන්‍යයෙන් ගත කරයි. අලියා ජලයට වැඩි කැමැත්තක් දක්වයි.ආසියාතික අලියා උණුසුමට
අකමැතිය. අර්ධ ජලජ සත්යකු ලෙස සැලකෙන අලියා දිනකට ජලය ලීටර 100 – 120 පමණ පානය කරයි.
අලියා සංක්‍රමණික සත්වයෙකි. අලියකු සාමාන්‍යයෙන් දිනකට කිලෝමීටර 20 – 25 ක් පමණ දුරක් ගමන් කරයි. අලියා වඩාත් ක්‍රියාශීලීව හැසිරෙන්නේ රාත්‍රී කාලයේදී ය. මේ නිසා විද්වතුන් අලියා අර්ධ නිශාචර සත්වයකු ලෙස හදුන්වයි. අලියා දිවා කාලයට වඩා රාත්‍රී කාලයේදී පෙනුම දියුණු සත්වයෙකි. තම ජීවන අවශ්‍යතා සදහා වැඩිපුර රාත්‍රී කාලයේ හැසිරීම
දැකිය හැකි අලින් විශාල ආහාර ප්‍රමාණයක් ගන්නා නිසා අලි රැලක් දිගටම එක ප්‍රදේශයක රැදී ඉන්නේ නැත. මොවුන් වසර පුරාම නිශ්චිත මාර්ග රටාවක් ඔස්සේ සංක්‍රමණය වෙති. මේ සංක්‍රමණයේදී අලි රංචු වශයෙන් විශාල දුර ප්‍රමාණයක් ගමන් කරති. අලි මංකඩ ලෙස හැදින්වෙන්නේ මෙවැනි සංක්‍රමණික මාර්ගය. රැලේ සිටින අලි පරපුරෙන් පරපුරට මෙම සංක්‍රමණික මාර්ග ඉගෙන ගෙන ඇත.
ස්වාභාවික පරිසරයේ අලින්ගේ හැසිරීම අධ්‍යයනය
කිරීමේදී පෙනී
යන්නේ ඔවුන් මානව සමාජයේ අප වගේම සමාජයීය ජීවිතයට වැඩි කැමැත්තක් දක්වන බවයි. අලින් අපි වගේම නේද කියා අපට හැගී යන්නේ ඔවුන්ගේ සමාජයීය රටාවන් දෙස බැලීමේදීය. අලියා ඉතා දැඩි සමාජ ජීවිතයකට හුරුවුණු සත්ව වර්ගයකි. අපේ සමාජයේ අපේ පවුල වගේම අලි රැළක් තුළ දැඩි විනය නීති රැසක් දකින්නට පුලුවන. අලි රැලේ නායකයා ඇතෙකු නොව රැලේ වැඩිමහල් ඇතින්නකි. ඊට හේතුව අලි රැළක් තුළ ලිංගිකව මේරූ පිරිමි සතුන් තබා නොගැනීමයි.මේ නිසා අලි රැළක් තුළ සිටින්නේ ලිංගිකව වැඩුණු ගැහැණු සතුන්
සහ ගැහැණු හා පිරිමි පැටවුන් පමණි. ඒ නිසාම අලි රැළක සිටින මේ වැඩිමල් ඇතින්නියන් සියලුදෙනා ම එකිනෙකාට සහෝදරියෝ , මව්වරු , දූවරු , ලොකු අම්මලා හෝ පුංචි අම්මලා වෙති.
පිරිමි පැටව් ලිංගිකව මේරූ විට එනම් වයස අවුරුදු 9 -10 පමණ කාලයේදී රැල අතහැර යති.එසේ නොයන්නේ නම් වැඩිමහලු ඇතින්නියන් විසින් උන් රැලෙන් පන්නා දමනු ලැබේ.මේ පන්නා දැමීම තුළ ලේ ඣාතීන් අතර ලිංගික හැසිරීම් පාලනය කිරීම අලින්ගේ මෙම සමාජයීය හැසිරීම් රටාවට හේතු වේ. ලිංගික පරණතභාවයට පත් අලියකුට වසරේ ඕනෑම කාලයක ලිංගිකව හැසිරීමට පුලුවන. ගැහැණු අලි පැටවකු වයස අවුරුදු 10 -12 ක් පමණ වන විට ලිංගිකව පරිණත වෙයි. ඇතින්නක් මද චක්‍රයට පැමිණි විට ඇගේ මුත්‍රා සමග පෙරමෝන් වර්ගයේ රසායනික සංයෝගය පිට වෙයි. නමුත් පිරිමි සතුන්ගේ මෙන් ඇතින්නියකගේ මළ ග්‍රන්ථි වලින් දියර ගැලීමක් සාමාන්‍යයෙන් සිදු නොවේ. ලිංගිකව හැසිරීමට ඇතින්නියක පෙළඹෙන්නේ මද අවස්ථාවට පත් වූ විට පමණි. එසේ නොවන කාලයේදී අලියෙක් ලිංගිකව හැසිරීමට උත්සාහ කලහොත් පහරදී එලවා දැමීමට එළඹෙයි. රැලක සිට කිලෝමීටර 2 -3ක් ඈත සිටින අලින්ට පවා මේ පෙරමෝන් වල සුවදින් මද චක්‍රයට එළඹුණු ඇතින්නක් සිටින බව හදුනාගන්නට හැකිය. ඒ සුවද ඔස්සේ ඉව කරමින් අවට සිටින පිරිමි සතුන් ඇතින්න සිටින රැල වෙත ඇදී එති.
මේ අනුව පැහැදිලි වන්නේ අලින් සමාජශීලි සත්ව කොට්ටාශයක් වනවා සේම සමාජයීයව ගොඩනගා ගත් නීති රීති සමුදායක් ද ඇති බවයි. අලි රැලක් තුළ තිබෙන අන්නෝන්‍ය සමාජ රටාවට සහ බැදීමට හානි කිරීම , හිරිහැර කිරීම ප්‍රචණ්ඩකාරී , කළහකාරී අලි නිර්මාණය වීමට එක් හේතුවකි. අලියා වගේම බොහෝ සතුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට බලපාන්නේ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගැනීමට අවහිරතා ගොඩනැගෙන විටයි. ආහාර , ලිංගික , ආරක්ෂාව ,පාරිසරික අවශ්‍යතා සදහා බාධා කිරීම් සිදුවන විට ගැටුම් නිර්මාණය වෙයි.
සටහන
වෑකඳවල රාහුල හිමි
Comments
Post a Comment