ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...


ආදළුවේ ධම්මසිරි හිමි.

පක්ෂීන්ගේ පරිණාමය...

මීට වසර දස ලක්ෂ 130කට පෙර ක්‍රිටේසියස් යුගයේදී පෘථිවිය මත පක්ෂීන්ගේ සම්භවය සිදු වූ බව වියතුන්ගේ පිළිගැනීමයි. මෙහිදී පක්ෂීන් උරගයන්ගෙන් පැවත සත්ව කාණ්ඩයක් ලෙසට පිළිගත හැකි සාක්ෂි හමුවී ඇත. එමෙන්ම ජීව විද්‍යාත්මකව ගත් කල පක්ෂීන් යනු පිහාටු පොරවාගත් උරගයින් කොටසක් බව පක්ෂි විද්වතුන් පවසා ඇත්තේ මේ නිසාය.

පක්ෂීන්ගේ පරිණාමයේ මූලික අවධියේ දී පක්ෂීන්ගේ ඇටසැකිල්ලේ අස්ථි වල කුහර දක්නට ලැබුණේ නැත. මේ නිසා අස්ථි සැකිල්ල බරින් වැඩි විය. එම නිසා සිරුරේ බර ඔසවාගෙන ඉහලට පියාඹා යාමට ඌට නොහැකි විය. එබැවින් පාද වල පැවති තියුණු නිය සහිත ඇගිලිවල ආධාරයෙන් ගසක් දිගේ ඉහළට බඩගාගෙන ගොස් පහළට පැනීම සිදුකර ඇත. එවිට පියාපත් යුගලය ආධාරයෙන් වාතයේ පාවීගෙන පහළට ඒමට හැකියාවක් ඌට තිබී ඇත.

පක්ෂීන්ගේ සිරුර පියාසැරියේදී උපරිම කාර්‍යක්ෂමතාවක් ලබා ගැනීමට හැකි වන පරිදි හැඩගැසී ඇත.මත්ස්‍යකුගේ සිරුරේ හැඩය සහිත ස්වරූපය හෙවත් අනාකූල හැඩැති ශරීර ස්වභාවය නිසා පියාසර කිරීමේදී අවම ප්‍රතිරෝධයක් සහිතව වායු ධාරාව ඔස්සේ ඉදිරියට ගමන් කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබී තිබේ.පක්ෂීන්ගේ සිරුර වසාගෙන ඇති පිහාටු සහ පියාපත් ප්‍රධාන වශයෙන් ඔවුන්ට උපකාරී වන්නේ පියාසර කිරීමට සහ දේහ උශ්ණත්වය නියතව පවත්වා ගැනීමටයි. පක්ෂීන්ට අචලතාපී බව ලැබී තිබීම නිසා තම සිරුරේ උශ්ණත්වය පරිසර උශ්ණත්වයේ සිදුවන විවිධ වෙනස්වීම් හමුවේද නියත අගයක තබා ගැනීමට හැකියාව ලැබී ඇත.

පක්ෂීන්ගේ සිරුරේ ඇති අස්ථි පද්ධතිය ඉතා සැහැල්ලුය. එහෙත් එය ඉතා ශක්තිමත් ය. ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ අස්ථි තුළ වාත කුටීර පිහිටා තිබීමයි. මෙම අස්ථි පද්ධතියේ පපු ඇටය විශාල වී ඇටයක් ආකාරයට පිහිටා තිබේ. පක්ෂීන් පියාසර කිරීමේදී පියාපත් යුගලය ක්‍රියාත්මක කිරීමට උපකාරී වන මාංශ පේශීන් සවි වී තිබෙන්නේ මෙම ළය පෙදෙසේ අස්ථියටයි.

පක්ෂීන්ගේ පෙනීම සේම ඇසීමද ඉතා දියුණු මට්ටමක පවතී. පක්ෂීන්ගේ කන් යුගලය කන් ඇවිරිනමින් හඩුන්වන කුඩා පිහාටු සමූහයක් මගින් වැසී ඇත. හේතුවෙන් කන් යුගලය බාහිරින් දක්නට නැත.

පක්ෂීන් ශාක කොටස් මෙන්ම විවිධ සතුන් ද ආහාරයට ගනු ලැබේ. පක්ෂීන් ආහාර ගත් පසු එම ආහාරය ප්‍රථමයෙන් ඇතුළු වන්නේ ගොජුරනම් වන අතර එය තුනී සිවියකින් සෑදුණු මල්ලක් වැනි ව්‍යුහයක් වේ පසුව එම ව්‍යුහයේ ගබඩා වී ඇති ආහාරයෙන් කුඩා කොටස් වරින් වර ගොජුරට පහළින් පිහිටා ඇති වටනයනමින් හදුන්වන ඉන්ද්‍රියක් තුළට මුදාහරී. වටනය තුළට ඇතුළු වන ආහාර ඒ තුළ දී ඇඹරීමට ලක් වේ. හොදින් ඇඹරීමට ලක් වූ ආහාර ඉන්පසු වටනයෙන් නිදහස් වී ආහාර ජීර්ණ පද්ධතියට ගමන් කරන අතර එහිදී ආහාර තවදුරටත් ජීරණයට ලක් වන ආහාර රුධිර සංසරණ පද්ධතියට අවශෝෂණය වීම සිදු වේ.

පක්ෂීන් තම සිරුර තුළ නිශ්පාදනය වන බහිස්ස්‍රාවීය ද්‍රව්‍යයන් ගබඩා කර තබා නොගන්නා ඔවුන් ඒවා සිරුරෙන් බැහැර කරයි. සිරුරේ බර වැඩි වීමෙන් පියාසර කිරීමට අපහසුතාවයක් ඇති වීම වැලැක්වීමට ය. සිරුරේ ඇති ජල ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමට මුත්‍රා තරලය වෙනුවට  අවම ජල ප්‍රමාණයක් සහිත සාන්ද්‍ර යූරික් අම්ලය සිරුරෙන් බැහැර කිරීමට පක්ෂීන්ට හැකියාව ඇත.

පක්ෂීන් තම වර්ගයා බෝ කරන්නේ බිත්තර දැමීම මගිනි. මෙම ලක්ෂණය පක්ෂීන් උරගයින්ගෙන් සිදුවූ පරිණාමයේ දී නොනැසී අඛණ්ඩව පවතින ක්‍රියාවක් බවට හදුන්වාදිය හැකිය. ගැහැණු සතා බිත්තර දැමූ පසු ගැහැණු සතා මෙන්ම පිරිමි සතා බිත්තර රැකීම සිදුකරන අතර පක්ෂීන්ගේ සිරුරේ උණුසුම් බව නිසා දින ගණනාවක දී බිත්තර පිපිරී පැටවුන් බිහි වීම සිදු වේ.

ලෝකය පුරා එකිනෙකට වෙනස් පරිසර තත්ත්ව පවතින විවිධ ප්‍රදේශවල පක්ෂීන් දක්නට ලැබේ. ලොව පුරා ව්‍යාප්ත වී සිටින පක්ෂීන් විශේෂ සංඛ්‍යාව දළ වශයෙන් 9000ක් පමණ වේ.මෙම පක්ෂි විශේෂ අතර පියාසර කල නොහැකි විශේෂ ද දක්නට ලැබේ. උදාහරණ වශයෙන් පැස්බරා, පෙන්ගුවින්, කිවි, එමු, කැසොවරි, රියා වැනි පක්ෂීන් හදුන්වා දිය හැකිය.
































Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්