ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

ආදළුවේ ධම්මසිරි හිමි.
ශ්‍රී ලංකා වලි කුකුළා

Sri Lanka Jungle Fowl ( Gallus Lafayetii )


Classification
Class – Aves
Order –  Galliformes
Family –  Phasianidea
Genus – Gallus


බාහිර ලක්ෂණ
නිවෙස් වල ඇති කරන කුකුළාට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර සාමාන්‍යයෙන් ගැහැණු සතා පිරිමි සතාට වඩා කුඩාය. පිරිමි සතා දිගින් සෙන්ටිමීටර 75ක් හා බරින් කිලෝග්‍රෑම් 1ක් පමණ වන අතර රතු හා කහ පාට දීප්තිමත් පෘෂ්ඨීය පෙදෙසක් ඇත. උදරය දීප්තිමත් රතු පැහැයක් ගනී. පියාපත් වල මුල් පෙදෙස රන්වන් පැහැයක් ගන්නා අතර අග කෙළවර තද දම් පැහැයක් ගනී. පෙදය දීප්තිමත් තද නිල් පැහැති වන අතර දිගට වර්ධනය වී ඇත. පාද රෝස මිශ්‍ර කහ පැහැති වන අතර පොර කටුවක් සහිතය.
ගැහැණු සතා පිරිමි සතාට වඩා කුඩාය. දුඹුරු පැහැති අතර පියාපත් අග කෙළවර සුදු පැහැතිය. ළැම පෙදෙස කහ සහ දුඹුරු ලප සහිතය. පෙදය කළු . පාද කහ පාට වන අතර පොර කටු නැත.පිරිමි සතා සමග ගැවසීමට නිතරම ප්‍රිය කරයි.

ව්‍යාප්තිය
තෙත් වනාන්තර බිම් පෙදෙස් ආශ්‍රිතව හා කදුකර වනාන්තර මෙන්ම වියළි කලාපීය පෙදෙස් වල දක්නට හැකිඅතර ප්‍රධාන වශයෙන්  යාල වනෝද්‍යානය , සිංහරාජ වනාන්තරය, දොඹගස්කන්ද රක්ෂිත වනය, විල්පත්තු වනෝද්‍යානය , කිතුල්ගල ,ලාහුගල, කළුගල රක්ෂිත වනය , රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශ හා හෝර්ටන්තැන්න ආශ්‍රිතව මොවුන් ව්‍යාප්තව ඇත.

ජීවන රටාව
සටන්කාමී පක්ෂී විශේෂයක් වූ මොවුන් තමාගේ ප්‍රදේශයට තවත් වලි කුකුළෙක් හෝ වෙනත් පක්ෂීන් පැමිණියහොත් සටන් කර එලවා දැමීම සිදු කරයි. මොවුන්ට පියාඹා යෑමට හැකි වූවත් එතරම් දුරක් පියාසර කල නොහැකි අතර සතුරන්ගෙන් බේරීමට වහා දුවගොස් පදුරක සැග වේ. ඉතා විමසිලිමත් ලෙසත් දැඩි අවධානයෙන් හැසිරෙන අතරම ඔවුනට ඉතා තියුණු  දෘෂ්ටියක් ඇත. රාත්‍රී කාලයේදී පොලොවට සමීප වූ  පදුරු මත නිදා ගනී. උදෑසනින් ඇඩලීමත්, නිතර නිතර තටු ගැසීමත් උන්ගේ සාමාන්‍ය සිරිතයි.

ආහාර
පලතුරු , ධාන්‍ය වර්ග සහ පැලෑටි වල ඇට ආදී ශාක කොටස් මෙන්ම පළගැටියන් , පණුවන් වැනි සතුන් ආහාර කොට ගනී.

ප්‍රජනනය
වසරේ මාර්තු සිට අප්‍රේල් දක්වත්, අගොස්තු සිට සැප්තැම්බර් කාලය දක්වාත් ප්‍රජනන ක්‍රියාවලියේ යෙදෙයි. මේ කාලයේදී ගැහැණු සතුන් තමන් වෙත ගෙන්වා ගැනීමට පිරිමි සතා රැගුම් දක්වයි. ගැහැණු සතා වරකට බිත්තර 2ක් 4ක් අතර ප්‍රමාණයක් දමනු ලබන අතර සාමාන්‍යයෙන් කහ පැහැයට හුරු කිලිටි පැහැයක් බිත්තර වලට ඇත. බිත්තරයක් සාමාන්‍යයෙන් මිලි මීටර් 48 * 35 ප්‍රමාණය වේ.

වර්තමාන තත්ත්වය
සුලබ පක්ෂීයෙකි. නමුත්  අන්තර් ජාතික ස්වාභාවික සංරක්ෂණ සංගමය මගින් ශ්‍රී ලංකාවේ වනජීවීන් පිළිබඳව ඉදිරිපත් කරන ලද  තොරතුරු ඇතුලත් වාර්තා වලට අනුව ශ්‍රී ලංකා වලි කුකුළා සංඛ්‍යාවෙන් අඩු වී යෑමේ තර්ජනයට ලක් වී ඇති පක්ෂීයෙක් වශයෙන් හදුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වශයෙන් ද නම් කර ඇති මෙම අලංකාර පක්ෂියා වන ළැහැබ සහ වතු බිම් එළිපෙහෙළි කිරීම නිසා තර්ජනයට මුහුණ දී ඇති බව හැදින්වීම වඩාත් නිවැරැදිය.



Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්