ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

ආදළුවේ ධම්මසිරි හිමි

ශ්‍රී ලංකා වත රතු මල් කොහා
Sri Lanka Red Faced Malkoha   ( Phaenicophaeus pyrrhocephalus )

Classification
Class – Aves
Order -Cuculiformes
Family – Cuculidae
Genus – Phaenicophaeus


බාහිර ලක්ෂණ
ඉතා අලංකාර පක්ෂියෙකි. පෙදය සමගම සිරුරේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර 45ක් පමණ වේ. එනම් දේහ ප්‍රමාණය බොහෝ දුරට ගෙවත්තේ දී දැකිය හැකි ඇටි කුකුළෙකුට සමානය. නමුත් මල් කොහාගේ ශරීරය සාපේක්ෂව මහතින් අඩුය. හොට ළා කොළ පැහැතිය. හිස මුදුනත , පෘෂ්ඨීය පෙදෙස සහ පෙදයේ උඩ පැත්ත කොළ පැහැය මිශ්‍ර වූ කළු පැහැයෙන් යුක්ත වේ. පෙදයේ අග ඇති පිහාටු සුදු පැහැතිය. හිස මුදුනේ සහ ගෙලේ දැකිය හැකි පිහාටුවල අන්තයන් සුදු පැහැති බැවින් මෙම ප්‍රදේශවල සුදු පැහැති දාර සහිතව දැකිය හැකිය. ගෙලේ උදරීය ප්‍රදේශය කොළ පැහැයට හුරු කළු පැහැති වන අතර උදරීය ප්‍රදේශය හා පෙදයේ යටි පැත්ත සුදු පැහැතිය.
මෙම පක්ෂියාගේ මුහුණ රතු පැහැති වන බැවින් ඉහත නම ලැබී ඇත.සාමාන්‍යයෙන් ගැහැණු සහ පිරිමි සතුන් එකම ස්වරූපයෙන් යුක්ත වන බැවින් බාහිරින් වෙන්කොට හදුනාගත නොහැකිය. එසේ වුවද පිරිමි සතාගේ ඇසේ තාරා මණ්ඩලය දුඹුරු පැහැති වන අතර ගැහැණු සතාගේ එම ප්‍රදේශය සුදු පැහැති බැවින් මෙම ලක්ෂණය උපයෝගී කරගනිමින් ඔවුන් ගැහැණු පිරිමි වශයෙන් වෙන් කර හදුනාගත හැකිය.

  ව්‍යාප්තිය
තෙත් කලාපයේ සහ කදුකර කලාපයේ වන ගහන සහිත ප්‍රදේශවලත් ඊට අමතරව වියළි කලාපයේ ගංගා ආශ්‍රිතව පිහිටා ඇති වන වදුලු වල දැකිය හැකි වේ. එසේ වුවද මෙම පක්ෂීන් දැකීම ඉතා අසීරුය. එයට හේතුව වනාන්තර විනාශ කිරීම නිසා ගහන ඝනත්වය අඩු වීමයි.
ප්‍රධාන වශයෙන් සිංහරාජ වනාන්තරය  වස්ගමුව ජාතික වනෝද්‍යානය , කිතුල්ගල රක්ෂිත වනය, ගල් ඔය රක්ෂිත වනය සහ ලාහුගල වනෝද්‍යානය තුළ දී නිරීක්ෂණය කල හැකි වේ.

ජීවන රටාව
ප්‍රජනන සමයේදී ජෝඩු වශයෙන් දැකිය හැකි වුවද අනෙකුත් කාලයේදී කුඩා  රංචු වශයෙන් හැසිරෙයි. ආහාර සොයමින් පියාසර කරන පක්ෂීන් සමූහ අතර මෙම පක්ෂීන් ද දැකිය හැකිය.මොවුන් සාමාන්‍යයෙන් නිහඬ දිවි පෙවෙතක් ගත කිරීමට කැමතිය. එනමුදු හොටයේ උඩු හා යටි හනු එකිනෙකට වැද්දීමෙන් කට කට කටයන හඩින් ශබ්දයක් ඇතැම්විට පිට කරයි. තවත් විටෙක මුඛය තුළ වූ වාතය එකර පිට කිරීමෙන් සූස් යන හඩක් නගයි. මෙම පක්ෂියා කුලෑටිය. වේගයෙන් තටු ගසමින් පියාසර කිරීමට අකමැත්තක් දක්වයි. ඉහළ තුරු වියනක සිට පහළ තුරු වියනට තටු විදහා පාවී යෑම සිදු කරයි. එම පහළ තුරු වියනේ ගසක අත්තක වසන මල් කොහා අත්තෙන් අත්තට පැන පැන යමින් ඉහළ ස්ථානයකට යයි.
ආහාර
මෙම පක්ෂියා සර්ව භක්ෂකයෙකි. පලතුරු ආහාරයට ගැනීම හා ශාක අතු පතර ජීවත් වන කුඩා සතුන් මෙන්ම බිම් ස්ථරයේ ජීවත් වන කුඩා සතුන් අල්ලාගෙන කෑමට කැමැත්තක් දක්වයි.

ප්‍රජනනය
සාමාන්‍යයෙන් වසරේ මුල් මාස 6 මෙම පක්ෂීන්ගේ ප්‍රජනනය සමය ලෙස හැදින්විය හැකිය. ඇතැම්විට අගෝස්තු සිට සැප්තැම්බර් මාසය අවසානය දක්වා ද බිත්තර දැමීමේ කාර්‍යයේ නිරතවන අවස්ථා වාර්තා වී ඇත. සාමාන්‍යයෙන් කෝකිල කුලයේ අනෙක් කෝකිලයන් මෙන වෙනත් පක්ෂියෙකුගේ කැදැල්ලක බිත්තර දැමීම වත රතු මල් කොහාගේ සිරිත නොවේ. මෙම පක්ෂියා ගසක කදට සමීපව රිකිල්ලක තම කූඩුව සාදයි. එය දීසියක හැඩය ගත් නොගැඹුරු විවෘත එකකි.කැදැල්ල සෑදීම සදහා වියළි තණකොළ , කෝටු කැබලි සහ ශාක මුල් යොදා ගනී. කිරිල්ලිය වරකට සුදු පැහැති බිත්තර 2ක් හෝ 3ක් දමන අතර ඒවා ප්‍රමාණයෙන් මිලි මීටර 36 * 27 පමණ වේ.

වර්තමාන තත්ත්වය
දුර්ලභ පක්ෂියෙකි. වදවීයාමේ තර්ජනයට ලක් වී ඇත. ස්වාභාවික වාසස්ථාන දරුණු අන්දමින් විනාශ කිරීම්වලට ලක් කිරීම නිසා මෙම පක්ෂීන් වදවීයාමේ අවදානමට ලක්ව ඇත.





Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්