ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

ආදළුවේ ධම්මසිරි හිමි.

ශ්‍රී ලංකා අදුරු නිල් මැසිමාරා
Sri Lanka Dusky – blue Flycatcer ( Eumyias sordida )



Classification
Class – Aves
Order – Passeriformes
Family – Muscicapidae
Genus – Eumyias


   බාහිර ලක්ෂණ
සම්පූර්ණ දේහයේ දිග සෙන්ටිමීටර 14ක් පමණ වේ.සුලබව දැකිය හැකි ගේ කුරුල්ලෙකුට වඩා ශරීර ප්‍රමාණයෙන් මදක් කුඩාය. පිට පැත්ත අළු පැහැය මිශ්‍ර වූ නිල් පැහැයක් ගන්නා අතර මෙම පක්ෂියාට ලැබී ඇති විශේෂ ලක්ෂණයක් ලෙස ඉතා දීප්තිමත් නිල් පාටින් යුක්ත වූ නළල හැදින්විය හැකිය. මෙම ලක්ෂණය අදුරු නිල් මැසිමාරා අනෙක් පක්ෂීන්ගෙන් වෙන්කර හදුනා ගැනීමට භාවිතා කළ හැකිය. ගැහැණු හා පිරිමි සතුන් පෙනුමෙන් බොහෝවිට එක සමාන වන අතර හොටය කළු පැහැතිය. උදරය පැත්ත අළු පැහැය මිශ්‍ර සුදු පැහැයක් ගනී. පරිණත පක්ෂීන්ගේ දේහ වර්ණය එසේ වුවද ඇතැම් අදුරු නිල් මැසිමාරාවන්ගේ දේහ වර්ණය තද පැහැයෙන් යුක්ත විය හැකිය.
නොමේරු පක්ෂීන්ගේ දේහ වර්ණය පරිණත පක්ෂීන්ගේ වර්ණයට වඩා වෙනස් වේ. ඔවුන්ගේ දේහයේ හිස පෘෂ්ඨීය පෙදෙස සහ ළැම පෙදෙස් දුඹුරු පැහැතිය. උදරීය පෙදෙස කහ පාට මිශ්‍ර වූ දුඹුරු වර්ණයක් ගෙන ඇත. හිසේ සිට පිට පෙදෙසේ දුඹුරු පාට තිත් බහුලව දැකිය හැකි අතර පෙදය කළු පැහැයට හුරු දුඹුරු පැහැති වේ.

ව්‍යාප්තිය
අදුරු නිල් මැසිමාරා සාමාන්‍යයෙන් ඉහළ කදුකරයට සීමා වූ පක්ෂියෙකි.එම ප්‍රදේශවල අඩි 2000 වඩා ඉහළ ස්ථානයන්හි ජීවත් වේ.සාමාන්‍ය තත්ත්වය එසේ වුවද සුදුසු පරිසර තත්ත්ව පවතින අදුරු ස්වභාවයක් ඇති තෙත් කලාපීය වනාන්තර වල ඇතැම්විට  මෙම පක්ෂීන් දැකිය හැකිය. ප්‍රධාන වශයෙන් නුවරඑළිය, හග්ගල, තංගමලේ රක්ෂිත වනය , හා හෝර්ටන්තැන්න ආශ්‍රිතව මෙම පක්ෂීන් පැතිර සිටිති. මීට අමතරව ශ්‍රී පාද අඩවිය සහ නකල්ස් කදුකරයේ මෙම පක්ෂීන් සුලභව දැකිය හැකිය.

ජීවන රටාව
සාමාන්‍යයෙන් තනිව හෝ යුගල වශයෙන් දැකිය හැකි අතර බොහෝවිට ඉහතින් සදහන් කල වනාන්තරයන්හි ඇළ , දොළ පාරවල් අසල, වනාන්තර මායිම් අද්දර කාලය ගතකිරීමට දැඩි කැමැත්තක් දක්වයි.
ගසක අත්තක හෝ ගල්තලාවක ලැග සිටින මෙම පක්ෂීන් වෙනත් ස්ථානයක ගොදුරක් දුටු සැණින් ක්‍රියාත්මක වී පෙර සිටි ස්ථානයටම ගොදුර ඩැහැගෙනවිත් එය ගිල දැමීම සිදු කරයි. මොවුන් ඉතා මිහිරි හඩින් නාද කරන අතර එය ගීතයක් ගායනා කරන විලාශයක් ගනී.වරෙක උස් හඩින් ඇසෙන එම නාදය තවත් වරෙක ඉතා පැහැදිලි ලෙස පහත් හඩින් ගායනා කරයි. එවැනි අවස්ථාවකදී එම හඩ අසන්නාට ඉතා ඈතක සිට නාද කරන බව ශ්‍රවණය වන නමුත් සත්‍යවශයෙන්ම පක්ෂියා ඉතා සමීපව සිට නාද කිරීම සිදු කරයි. එය තම පැටවුන් හා කිරිල්ලිය සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා සතුරන් මුලා කිරීමට උපක්‍රමයක් ලෙස කුරුල්ලා විසින් යොදා ගනී. පිරිමි සතා එමගින් ගැහැණු සතා දැනුවත් කර ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගැනීමට ඉඩ සලසා දේ.

 ආහාර
සර්ව භක්ෂකයෙක් වන මොවුන් කුඩා දළබුවන්, කුරුමිණියන්, කෘමීන් වැනි සතුන් අල්ලා ආහාරයට ගනී.  මීට අමතරව සපු, ගදපාන, ඇඹිල්ල වැනි ගස්වල ගෙඩි ආහාරයට ගනී.

 ප්‍රජනනය
ප්‍රජනන සමය ලෙස ප්‍රධාන වශයෙන් වාර්තා වන්නේ වසරේ මාර්තු සිට අප්‍රේල් දක්වා වූ කාලය යි. ඇතැම්විට අගොස්තු සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ දී බෝවීම සිදු වේ. ගසක කුහරයක් හෝ ඇතැම්විට ඉවුරක පිහිටි හොදින් ආවරණය වූ ස්ථානයක කූඩුව සාදා ගනී. එය විවෘත එකක් වන අතර ගැඹුරු හා කෝප්පාකාර හැඩැතිය.  කළු  පැහැති පර්ණාංග කෙදි , පෙද, වියළි කොළ උපයෝගී කරගනිමින් කැදැල්ල සාදයි.
කිරිල්ලිය වරකට බිත්තර 2- 3 ක් දමනු ලැබේ. ඒවා අණ්ඩාකාර හැඩයෙන් යුක්ත වේ. වර්ණයෙන් ළා රෝස පැහැති වන අතර විශාලත්වයෙන් මිලි මීටර් 21 * 15 පමණ වේ. බිත්තරයේ විශාල පැත්තේ ලා රතු පැහැයට හුරු දුඹුරු පාට තිත් දැකිය හැකිය.

වර්තමාන තත්ත්වය
සුලබ පක්ෂියෙක් ලෙස හදුන්වා දිය හැකි අතර එසේ වුවත් සංඛ්‍යාවෙන් අඩු වී යෑමේ අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇති බව සදහන් කල හැකිය.

















Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්