ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

ආදළුවේ ධම්මසිරි හිමි.

ශ්‍රී ලංකා වනරැවියා
Sri Lanka Bush Warbler ( Bradypterus palliseri )




Classification
Class – Aves
Order – Passeriformes
Family – Muscicapidae                      
Sub Family – Sylviinae
Genus – Bradypterus


මෙම පක්ෂීයා ඇතැම්විට ශ්‍රී ලංකා හම්බු කුරුල්ලා යන නමින් ද හදුන්වනු ලැබේ.

ශරීර ප්‍රමාණය
ශරීරය ප්‍රමාණයෙන් නිවෙස්වල දැකිය හැකි ගේ කුරුල්ලෙකුට වඩා තරමක් විශාලය. සිරුරේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර 14ක් පමණ වේ. ගැහැණු සහ  පිරිමි සතුන් දේහ ප්‍රමාණයෙන් සහ ශරීර වර්ණයෙන් බොහෝවිට එක සමානය.

බාහිර ලක්ෂණ
සිරුරේ උඩු පැත්ත තද කළු පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුක්ත වේ. උදරීය පැත්ත ඊට තරමක් ළා පාටින් යුක්ත . උගුර ප්‍රදේශය කහ පැහැයෙන් යුක්ත වේ. පිරිමි සතුන්ගේ ඇසේ තාරා මණ්ඩලය ළා රතු පැහැයට හුරු පඩුවන් පැහැයක් ගනී. ගැහැණු පක්ෂීන්ගේ එය ළා පඩුවන් පැහැතිය. ගැහැණු හා පිරිමි සතුන් වෙන්කර හදුනා ගැනීමට මෙම ලක්ෂණය යොදාගනු ලැබේ. හොටය සහ හිස, පාද යන කොටස් ද තද කළු පැහැයට හුරු දුඹුරු වර්ණයක් ගෙන ඇත.

ව්‍යාප්තිය
ලංකා වනරැවියා කදුකර වනාන්තර වලට පමණක් සීමා වූ සීමිත ව්‍යාප්තියක් ඇති පක්ෂියෙකි. ප්‍රධාන වශයෙන් හෝර්ටන්තැන්න, හග්ගල, නුවරඑළිය, ශ්‍රී පාද අඩවිය, නකල්ස් කදුවැටිය යන ප්‍රදේශවල දැකිය හැකිය. වනාන්තරවල යටි වියන් ස්ථරවල ගැවසෙන අතර විශේෂයෙන් විල්ලු , පදුරු සහ කුඩා බට පදුරු  සහිත වනාන්තර වලට ප්‍රිය කරයි.

 ජීවන රටාව
ජෝඩු වශයෙන් ජීවත් වන මොවුන් වනාන්තරයේ යටි වියන් ස්තරයේ කුඩා පදුරු අතර ආහාර සොයමින්  සැරි සැරීම සාමාන්‍ය සිරිතයි. පොළොව මට්ටමෙන් අඩි 6කට වඩා ඉහළට ඉතාමත් කලාතුරකින් ගමන් කරන අතර බිම් ස්තරයේ ශාක පදුරු අතරින් කුඩා කෘමීන් සොයන විට දුරින් සිට බලන්නෙකුට පෙනෙනුයේ මීයෙකු එහාට මෙහාට ගමන් කරන විලාශයකි. වනරැවියා තම සාමාජිකයන් අතර සම්බන්ධතාවය පවත්වා ගන්නේද මීයකු පිට කරන හඩට සමාන හඩක් පිට කිරීමෙනි. කදුකර වනාන්තර වල යටි වියන් ස්තරයේ ආහාර සොයමින් ගමන් ගන්නා පක්ෂීන් රංචු අතර මෙම පක්ෂීන් ද දැකිය හැකිය. “ හම්බුකුරුල්ලානෙළු පදුරු වලින් ගහන වූ ස්ථානවල ගැවසීමට වඩාත් කැමතිය.

ආහාර
ප්‍රධානවම කුඩා කෘමීන් ආහාරයට ගන්නා මොවුන් මාංශ භක්ෂකයෙකි.

ප්‍රජනනය
ප්‍රජනන සමය වසරේ පෙබරවාරි සිට මැයි දක්වා වන අතර ඇතැම්විට සැප්තැම්බර් මාසයේ දී බිත්තර දමන අවස්ථා වාර්තා වී ඇත. කුරුල්ලාට සාපේක්ෂව කැදැල්ල ප්‍රමාණයෙන් විශාලය. එය විවෘත එකක් වන අතර ගැඹුරු බවින් වැඩිය. කැදැල්ල තැනීම සදහා පොළොව ආසන්නයේ වූ පදුරක් තෝරා ගනී. එය සෑදීම සදහා වියළි කොළ, පෙද,පාසි,රොඩු කැබලි, බටකොළ, තණකොළ සහ කෙදි වැනි ද්‍රව්‍ය යොදා ගනී.ගැහැණු සතා වරකට බිත්තර 2ක්  දමනු ලැබේ. ඒවා වර්ණයෙන් සුදුවන් රෝස පැහැතිය. ප්‍රමාණයෙන් මිලි මීටර් 23*17 පමණ  වන අතර බිත්තර මතුපිට සෑම තැනකම වාගේ තද දම් පැහැති පුල්ලි විසිරී තිබේ.

වර්තමාන තත්ත්වය
දුර්ලභ පක්ෂියෙක් ලෙස හදුන්වා දිය හැකිය.







Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...