අපට හිග දේ කොහොම සැපයේ...

උදුලා ප්‍රසාදි

සොබාදහම් පාසල

                  වෛරසය එන්න එන්නම ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. සෞඛ්‍ය පහසුකම් ඉතා ඉහළ රටවලත් දිනකට සිය දහස්  ගණනක් මරණ වාර්තා වෙයි. සෞරග්‍රහ මණ්ඩලය තුළ පෘථිවිය නිර්මාණය වෙන්නෙ මීට වසර මිලියන 4600 පමණ පෙරය. එහි ජීවය පහළ වෙන්නෙ මීට වසර මිලියන 600ක පමණ ඉහතදීය. මේ අනුව මිහිමත මානව වාසය කවදා කොතනකදී ආරම්භ වුවද ශක්‍ය වාදය ගරුකොට ගත් වත්මන් මිනිසා සිටියේ මහත් ආඩම්බරයකිනි. පෘථිවිය ගැන  පමණක්  නොව  චන්ද්‍රයා ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය පිළිබද අපි සොයා ගත්තෙමු.

                වසර ගණනකින් ඵලදාව ලබා ගත් ගස් වලින් මාස කිහිපයකින් ඵලදාව ලබා ගත් නිසාත් , අඩු මාසෙන් වී අස්වනු නෙලුව කියාත් අපි සතුටුවීමු.  ජීවිතේ දිනන්න කියලා පාට පාට දිලිසෙන සුවපහසු වාහන වල ගමන් කලෙමු. මේ ඉවක් බවක් නැති ගමනේ දී මිනිසාට තමන් පරිසරයේ කොටසක් විනා පරිසරයේ පැවැත්මට මිනිසා අවශ්‍ය නොවන බව අමතක විය.

                  නිදහසේ  ලස්සනට කෑම සොයා ගෙන කා ජීවත් වූ මාලුවන් සිටි ඇල දොළ වලට කම්හල් වල අපජලය බැහැර කලෙමු. වසර ගණනක් තිස්සේ කැලයකින් කැලයකට මාරුවන මංකඩවල් හරස්කර නිවෙස් ඉදිකලෙමු. පරිස්සමට අලි වැටකුත් ගැසුවෙමු. ඒ අයුරින් අපි අහිංසක සතුන් හිරකර නිදහස සෙව්වෙමු.  නිදහස ගැන උදම් ඇනුවෙමු. තුන්සිය හැටපස් දවසෙම කලුම කලු දුමාරය ලක්ෂ ගණන්  දුම් බට වලින්  විද නිල් අහස අදුරු කලෙමු. ඇත්තටම මිනිසා පිවිතුරු පරිසරය  කිළිටි කර දියුණුව සෙව්වේය. අන්තිමට සොබාදහම මිනිසුන්ට රිදෙන්නම ටොක්කක් ඇන සිහි උපද්දන්නට ගත් උත්සාහයකි කොවිඩ් 19. මෙය සොබා දහම මිනිසුන්ට දුන් පුංචි දඩුවමකි.
තමන් කොතරම් පරිසරයෙන් ඈත්ව සිටින්නට උත්සාහ කලද එය තමන්ගේ  හදවතටම කරගන්නා බොරුවක් බව මිනිසා තේරුම් ගත් යුතු කාලය එළබ ඇත. 

                  වත්මනෙහි පැන නැගී ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ රජයෙන් ලබාදෙන සහන මල්ල නොලැබුනහොත්  බඩගින්නේ මියැදෙන තත්ත්වයට පුද්ගලයන් පත්ව ඇත. මෙය ඉතාමත් කණගාටුදායක තත්ත්වයකි. කොරෝනා වෛරසය අද වන විට මිනිසාගේ දෛනික ජීවිතය එහෙම පිටින්ම උඩුයටිකුරු කර තිබේ. එබැවින් දෛනික ආහාර අවශ්‍යතාව පූර්ණය කර ගැනීම අභියෝගයක්  වී ඇත. 

                 “ සිය රට දේ සිරි සැප දේ “ යන සංකල්පය ඉවත් වී ස්වකීය පරිභෝජනයට අවශ්‍ය ආහාර පිටරටින් එනතුරු මුහුදට දත නියවන ජාතියක් නිර්මාණය වී ඇත. ලැබෙන සුළු විරාමයද ඔවුන්ට වෙළදසැල් අසල දිගු පෝලිම්වල ගත කිරීමට සිදුව තිබේ. අතීත සමාජයේ පරිස්සම හා අරපරිස්සම ඉතා ඉහල මට්ටමක පැවතුනි.  මෙවැනි ගැටලුකාරී අවස්තාවල දී පරිස්සමට වන්නට ඔවුහු වත්තේ  එළවළු , පළතුරු වගාකරගත් හ.  අරපරිස්සමට අතිරික්ත ආහාර හිගකාල වලදී  ප්‍රයෝජනයට ගන්නට සං‍රක්ෂණය කලහ. ආහාර කල් තබා ගන්නා ක්‍රම පාරම්පරික දැනුම තුළ ගැබ් විය.

                     ලංකාව ඝර්ම කලාපයේ රටකි. එබැවින් වසර පුරාම හිරුගේ කිරණේ පහස විදින්නට තරම් අපි වාසනාවන්ත වෙමු. ඒ අනුව අතිරික්ත ආහාර කල් තබා ගන්නා ක්‍රම අතර අව්වේ වියලා ගැනීම ප්‍රධාන ක්‍රමයකි.  කොස් , දෙල්, අබ , දෙහි  වැනි බොහෝ එළවලු වර්ග මෙසේ කල්තබා ගනී. කොස් ඇට වියලා කුඩු කර , ඒ කුඩු කරගත් කොස් ඇට වලින් කිරිබත් වැනි නොයෙක් මාදිලියේ ආහාර වර්ග පිසීමේ දැනුමක් අප සතු විය. නමුත් අද වන විට කාර්‍යබහුල තරගකාරී සමාජ ක්‍රමය තුළ මෙකී ආහාර තාක්ෂණය වැලලී ගොස් අල පරිප්පු මත පමණක්‍ යැපෙන සමාජයක් බිහිවී ඇත.කොතරම් අමාරු අපහසු කාලයක් වුවද එකී පීඩනයෙන් මිදී දිවිගෙවන්නට ස්වභාව ධර්මය හා බද්ධ වූ පිරිසට හැකිවිය. නූතන තාක්ෂණික ලෝකයේ මේවා හණමිටි අදහස් යැයි බැහැර කර තිබුනද අද වන විට මෙහි වටිනාකම ජනතාවට අවබෝධවීම සතුටට කරුණකි.











Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්