ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...


ආදළුවේ ධම්මසිරි හිමි.


ශ්‍රී ලංකා අළු දෙමලිච්චා
Sri Lanka Ashy- headed Laughing Thrush  ( Garrulax cinereifrons )

Classification
Class – Aves
Order – Passeriformes
Family – Muscicapidae
Sub Family – Timalinae
Genus – Garrulax

මෙම පක්ෂියාගේ හිස අළු පැහැති වන බැවින් ඇතැම්විට හිස අළු - අළු දෙමලිච්චා යන නමින් හදුන්වනු ලැබේ.

බාහිර ලක්ෂණ
සිරුර දිගින් සෙන්ටිමීටර 25ක් පමණ වේ. සාමාන්‍ය දෙමලිච්චාට වඩා මදක් විශාලය. කළු පැහැති හොටයක්, තද අළු පැහැයට හුරු අදුරු පැහැති පාද, අළු පැහැති හිසක් සහිත මොවුන්ගේ පියාපත් සහ පෙදය තද රතු පැහැයට හුරු දුඹුරු පැහැතිය. ඇසේ තාරා මණ්ඩලය සුදු පැහැති වේ.

ව්‍යාප්තිය
ප්‍රධාන වශයෙන් තෙත් කලාපීය වනාන්තර වල ජීවත් වන අතර මධ්‍යම කදුකරයේ දකුණු හා බටහිර බෑවුම් දිගේ මීටර් 1000 ක් දක්වා උසකින් යුක්ත වූ ඝන වනාන්තර වලද දැකිය හැකිය. සිංහරාජ වනාන්තරය , ඉට ආසන්නව පිහිටා ඇති මොරපිටිය වනාන්තරය , ශ්‍රී පාද අඩවිය මෙම පක්ෂීන් සුලභව දැකිය හැකි ස්ථාන වේ.

ජීවන රටාව
රංචු වශයෙන් ජීවත් වීමට ප්‍රිය කරන මොවුන් වනයේ අදුරු පොළොව ආශ්‍රිතව නිතරම කෑකෝ ගසමින් කාලය ගත කරති. වනාන්තරයේ තෙත් පොළොව හාරමින් හා ගසින් ගසට ඉගිලෙමින් ආහාර සොයා වෙහෙසෙන අයුරු සුලභව දක්නට ලැබේ. මෙම පක්ෂීන් වඩාත් ක්‍රියාකාරීවදැකිය හැකි වන්නේ උදය කාලයේ හා සවස් කාලයේදී .

ආහාර
නිරන්තරයෙන් පදුරු අතර සැරිසරමින් ඒවායේ පත්‍ර පෙරලමින්, පොළොව හාරමින් කෘමී සතුන් ආහාරයට ගනී. ප්‍රධානවම කෘමී සතුන් ආහාරයට ගනී.

ප්‍රජනනය
අභිජනන සමය වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වන අතර කොළ හා කෝටු කැබලි එක්කොට කෝප්පයක හැඩයට තනාගත්  විශාල කැදැල්ල පදුරක් තුළ දැකිය හැකිය. එය තැනීමට ඔවුන්ගේ කණ්ඩායමේ සිටින සියල්ලෝම උපකාරී වේ. කිරිල්ලිය වරකට බිත්තර 4ක් දමන අතර ඒවා නිල් පැහැති අතර විශාලත්වයෙන් මිලි මීටර් 25 * 18ක් පමණ වේ.

වර්තමාන තත්ත්වය
දුර්ලභ පක්ෂියෙක් ලෙස හදුන්වා දිය හැකි අතර ප්‍රධානවම ස්වාභාවික වාසස්ථාන විනාශ කරමින් පැවතීම නිසා සංඛ්‍යාවෙන් අඩු වෙමින් පවති.





Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්